ක්‍රීඩකයන් සනසන ක්‍රිකට් වනසන කව්ද මේ චාලි?

ඔස්ටින් කිව්වාම ඒ කාලේ සිහියට නැඟුණේ එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ඔස්ටින් කේම්බි්‍රජ් වාහනයයි. එහෙත් අද ඔස්ටින් යන නම කී විට එක්වර මතකයට එන්නේ එංගලන්තයේ සිට මෙහි පැමිණ සිටින චාලි ඔස්ටින් කියන නමය. හේතුව ඒ තරමටම වර්තමානයේදී අර්බුදයට ලක් වී ඇති මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඔහුද චරිතයක් බවට පත්වී තිබෙන නිසාය. කවුද මේ චාලි ඔස්ටින්? ඔහු දැන් ලංකාවේ මොනවද කරන්නෙ යන ප්‍රශ්න දෙකට පමණක් පිළිතුරු සොයා බැලූවිට ඔහු ගැන ලියන්නට බොහෝ දේ ඇතත් මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට හා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධව ඔහුගේ භූමිකාව කුමක්ද යන්න වර්තමානයේදී අපට වඩාත් වැදගත් වෙනවා.

1999 සැප්තැම්බර් මාසයේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලද මෙම චාලි ඔස්ටින් ඉන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සංචාරකයකු ලෙසයි. මේ වනවිට අප අතරින් වෙන්වී ගිය හිටපු ක්‍රිකට් විනිසුරුවරයකුගේ ගෙදර නවාතැන් ගත් මෙම චාලි ඔස්ටින් ක්‍රිකට් වෙබ් අඩවියක මාධ්‍යවේදියකු මෙන්ම මෙරට නියෝජනය කරන මෙරට කළමනාකරුවා බවට පත්වී ඇත. ඒ මඟින් මෙරට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇසුරු කරන්නට අවස්ථාව සලසා ගත් චාලි අද වනවිට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයන් මෙහෙයවන හා ඔවුන් පිළිබඳ තීරණ ගන්නා ඔවුන්ගේ කළමනාකරුවකු බවට පත්වී ඇත.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩකයන් පමණක් නොව නායකත්වය දැරූ හා නායකත්වය දරන ක්‍රීඩකයන් චාලිගේ කළමනාකරණ රාමුවට කොටු කරගෙන තිබීමද විශේෂත්වයකි. එසේ ක්‍රීඩකයන් කළමනාකරණය කරන ඔහු යටතේ ක්‍රීඩකයන් 20 දෙනකු පමණ සිටින බව දැනගන්නට ඇතත් ඉන් සමහරුන් සෘජුවම ඔහු යටතේ නොව ඔහු වෙනුවෙන් පෙනී සිටින වෙනත් පුද්ගලයන් යටතේ කළමනාකරණ සේවය ලබාගන්නා බවත් දැන් ප්‍රසිද්ධ රහසක් වී තිබෙනවා.

මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පසුබෑම් තත්ත්වයත් සමඟ ක්‍රීඩකයන් ගැන පසුවිපරමක් කරන්නට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රිකට් කරවන වගකිවයුත්තන්ද උත්සුක වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් කණ්ඩායම තුළ දුටු අසම්මත වෙනස්කම් පිටුපස සිටි පුද්ගලයන් කවුදැයි යන්න හෙළිවුණා. ඒ අතර මෙකී චාලිගේ චරිතය ප්‍රධාන මාතෘකාවක් වූ අතර එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හිසරදයක් බව ඒ ගැන දැන උගත් කාගේත් මුවින් ප්‍රකාශ වුණා. නමුත් මෙරට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් හරහා උපයන මුදල් සම්භාරයෙන් කිසිදු බද්දක් හෝ නොගෙවන මෙම චාලි ගැන තවමත් සුබවාදී ස්වරයෙන් කතා කරන්නට මෙරට නියෝජනය කළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුද සිටින බව කිව යුතුයි.

එහෙත් මෙකී චාලිගේ ක්‍රියා කලාපයට එරෙහිව පොල්ල ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෑතකදී සමුගත් තවත් ක්‍රිකට් නායකයකු වූ තිලකරත්න ඩිල්ෂාන් පමණි. අයි. පී. එල්. තරගාවලියට යෑම සඳහා කළමනාකරුවකු ලෙස කටයුතු කරන්නට යැයි පවසමින් සියයට දහයක කොමිස් මුදලක් ඉල්ලා ඔහු විසින් එදා ඩිල්ෂාන් වෙත එවන ලද ලිපිය නැවත හරවා යැවූ බවද පැවැසෙනවා. කෙසේ වෙතත් 2008 වසරේ සිට වසරක් පාසා පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියේ මුල් අවධියේදී ඉන්දියානු අනුග්‍රාහක සමාගම් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ගිවිසුම්ගත කිරිම වෙනුවෙන් චාලි අති විශාල මුදල් සංභාරයක් උපයා ගත්තේය. එහෙත් ඔහුට එම ආදායම් මාර්ගය දිගටම පවත්වාගෙන යන්නට හරස් කැපූවේ අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා අතුරු කමිටුවේ සභාපති තනතුරට පත්වීමත් සමඟය. එනම් අර්ජුන තීන්දු කළේ අයි. පී. එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගීවන්නේ නම් ඊට අදාළ කොන්ත්‍රාත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා සිදුවිය යුතු බවටය. ඒ අනුව ඉන් පසුව අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් සඳහා ලැබෙන කොමිස් මුදල චාලි ඔස්ටින් කළමනාකරුවා අතට නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිණි.

මෙරට මුස්ලිම් කාන්තාවක් සමඟ විවාහ වී සිටින මෙම චාලි මෙරට තුළ ආදායම් උපයන මාර්ගය ක්‍රිකට් පමණක් නොවේ. පසුගිය රජයේ ඉහළ බලධාරීන් සමඟ එක්වී දකුණු මුහුදු තීරයේ විශාල හෝටලයක් ඉදිකිරීමට ඔහු සැලසුම් කර තිබුණද එය ව්‍යර්ථ වුවත් මෙරට තුළ පවත්වාගෙන යන රෙච් ඩොට් සහ වලව්ව යන ආපනශාලාවල හා සංචාරක හෝටලයක ඔහු ප්‍රධාන කොටස්කරුවෙකි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයකුට කළමනාකරුවකු අවශ්‍ය වේ. ඒ ගැන තර්කයක් නොමැත. යම් ක්‍රීඩකයකුට ජාත්‍යන්තරය සමඟ හෝ දේශීය වශයෙන් වුවද ආදායම් මාර්ග සොයා ගැනීම මෙන්ම රාජකාරි කටයුතුවලදී කළමනාකරුවකුගේ සේවය අත්‍යවශ්‍ය විය හැකිය. ඒ අනුව යමින් ක්‍රීඩකයකුට ඉහළ වටිනාකමක් ලැබෙන විට අදාළ කළමනාකරුටත් ලැබෙන කොමිස් මුදල් ප්‍රමාණය ඉහළය. නමුත් සිදුවූ සහ සිදුවෙමින් යන හානිය වන්නේ චාලි වැනි කළමනාකරුවන් හතරේ සීමාවෙන් පිට ක්‍රීඩකයන් කළමනාකරණයට සීමා නොවී හතරේ සීමාව තුළට යන ක්‍රීඩකයන් කවුදැයි තීරණය කිරීම දක්වා අතපෙවීමය. ඒ ගැන විවිධ චෝදනා ඇතත් චාලි නම් කළමනාකරුවාට ඇති ප්‍රධාන චෝදනාව වන්නේ කණ්ඩායමේ නායකයාගේත් කළමනාකරුවා වීම හරහා කණ්ඩායම තෝරා ගැනීමේ කටයුත්ත තුළ හොල්මන් කිරීමය.

මෙම ක්‍රියාව අද වනවිට කොතරම් දුර දිග ගොස් ඇතැයිද පැවසුව හොත් හිටපු සමහර සුපිරි ක්‍රීඩකයන් මෙන්ම හිටපු සුපිරි නායකයන්ද චාලි ගැන කතා කරන්නට පටන්ගෙන ඇත. ඒ අතර සමහරුන් චාලිට සුදුහුනු ගෑමත් තවත් සමහරුන් චාලි ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත් දැකගත හැකිය.

චාලි ඔස්ටින් ගැන මෙරට තුළ කතාබහට ලක්වෙද්දී එංගලන්තයේ සිට තම හඬ අවදි කරමින් අදහස් පළකර ඇති කුමාර් සංගක්කාර පවසා ඇත්තේ තමන් කළමනාකරුට වැඩ නොකරන බවත් කළමනාකරු චාලි ඔස්ටින් තමන්ට වැඩ කරන බවත්ය. එංගලන්තයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අමතා එසේ ප්‍රකාශ කර ඇති සංගක්කාර තවදුරටත් පවසා සිටියේ 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. ඒ පිළිබඳව වගකිවයුත්තන් තවමත් නිහඬව සිටින බව කියන සංගක්කාර තම කළමනාකරුවා ගැනද ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින්,

“2004 අවුරුද්දෙ සිට මගේ කළමනාකරු හැටියට චාලි ඔස්ටින් බඳවා ගත්තා. ඊට පෙර ඔහු මහේල ජයවර්ධනගෙත් කළමනාකරු හැටියට වැඩ කළා. මම චාලි ඔස්ටින්ව බඳවා ගත්තේ මගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයන්න සහ ඊට අදාළ යම් යම් රාජකාරි කළමනාකරණය කරගන්නයි. ක්‍රීඩක කළමනාකරණය ලෝකයේ ක්‍රිකට්වලට අලුත් දෙයක් නෙවෙයි. ජාතික ක්‍රිකට්වලට කළමනාකරු එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. චාලි ඔස්ටින් කණ්ඩායමේ නායකයා හරහා ක්‍රීඩකයන්ට බලපෑම් කරනවා කියන කතාව ඇහැව්වාම මට හිනහයි. ඔහුගේ ක්‍රීඩකයෙක් ලංකාවට ක්‍රීඩා කළා කියල ක්‍රීඩකයාට ලැබෙන තරග ගාස්තුවලින් කළමනාකරුට ඇති වාසියක් නැහැ” යනුවෙන්ද පවසා ඇත.
නමුත් චාලි ඔස්ටින් සමඟ තමන් සහ මහේල ජයවර්ධන ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින බව එහිදී සංගක්කාර ප්‍රකාශ කර ඇත. නමුත් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම ව්‍යාපාර කිසිවක් ක්‍රිකට්වලට සම්බන්ධ ඒවා නොවන බවයි.

කෙසේ වෙතත් අපට ඇති ගැටලුව වන්නේ ලාහෝර් ප්‍රහාරයට වසර 8ක් ගතවී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලන්නට සංගක්කාරට දැන් මතක් වී ඇත්තේ ඇයිද? යන්නය. අනෙක් කරුණ, කියන්නට දෙයක් ඇත්නම් එංගලන්තයේ සිට ලංකාවට පැමිණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකියි. එසේ නැතිව එකතු කරගත් කිහිපදෙනකු ඉදිරියේ කඩි මුඩියේ ස්කයිප් හරහා මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමට ඇති හදිසිය කුමක්දැයි ප්‍රශ්නයකි. ඒ අනුව බලන විට කට ඔහුගේ වුවත් අත කාගේදැයි පැහැදිලිය. 2009 ලාහෝර් ප්‍රහාරය ගැන දැන් කතා කරන්නේ එම සංචාරය සැලැසුම් කළ 2008 වසරේ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිව සිටි අර්ජුන රණතුංග ඉලක්ක කරගෙනය. අර්ජුන යනු මෙරටට ක්‍රිකට් ලෝක කුසලානයක් ගෙන එන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ නායකයා මෙන්ම කිසි දිනක මුදල් වෙනුවෙන් වෙළෙඳ දැන්වීමකට සහභාගි නොවූ චාලි ඔස්ටින් වැනි ක්‍රිකට් ඒජන්තවරුන්ට එරෙහිව කටයුතුකළ මෙරට එකම ක්‍රිකට් සභාපතිවරයාය.

ඒ නිසා චාලිට මෙහෙන් වදින විට එහෙන් චාලිගේ ගෝලයෝ කලබල වීම ගැන පුදුම විය යුතු නැත. වර්තමාන රජයේ ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා, ලාහෝර් ප්‍රහාරය ගැන පරීක්ෂණ ඉල්ලා සිටින සංගක්කාරට පිළිතුරු දෙමින් පවසන්නේ ලාහෝර් ප්‍රහාරය ගැන පමණක් නොව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ගැනද පරීක්ෂණ කරන ලෙසයි. එම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නායකයාද වූයේ සංගක්කාරය. සංගක්කාරගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වන හිටපු ක්‍රිකට් නායක අර්ජුන වැඩිදුරටත් අදහස් දක්වමින් “අපේ ක්‍රීඩකයන්ට වැදගත් විය යුත්තේ රටේ ක්‍රිකට්. ඒ ගොල්ලන්ගෙ මැනේජර්ල නෙවෙයි. අද රටේ ක්‍රිකට් වැටිලා. ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කතා කරන්නෙ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේරගන්න කතා කරනවා. ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සම්බන්ධයෙන් නීති පැනවිය යුතුයි. එක් කළමනාකරුවට ක්‍රීඩකයෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් කියලා නීතියක් ගෙන ආ යුතුයි. මම දන්න විදියට එක කණ්ඩායමකට ඔය චාලි ඔස්ටින් කියන තැනැත්තාගේ ක්‍රීඩකයෝ පහ, හය, හත ගහලා තියෙනවා. අනිත් ප්‍රශ්නෙ මේ පුද්ගලයා පිටරටකින් ආපු කෙනෙක්. ඔහු මේ රටෙන් උපයන මුදලට බදු ගෙවල තියෙනවද? ඒව ගැන සොයන්න. මම කිසිම ක්‍රීඩකයෙක් පහත් කරල කතා කරන්නෙ නැහැ. නමුත් සුදු පිරුවටෙන් වහන් ඉන්න අයගේ ඇතුළේ මොනවද තියෙන්නෙ කියල මම දන්නවා” යනුවෙන්ද පැවැසීය.

අර්ජුන රණතුංග මහතා පවසන පරිදි 2011 ලෝක ක්‍රිකට් කුසලාන අවසාන මහා තරගය පිළිබඳවද පරීක්ෂණයක් ඉල්ලීම සාධාරණ වන්නේ එම ප්‍රතිඵලය ගැන අදටත් සැක මතුවී තිබෙන නිසාය. තවද අප පවසන්නේ 2011 පමණක් නොව 2007 ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳවද පරීක්ෂණ පැවැත්විය යුතුය යන්නයි.

සිරිනාම රාජපක්ෂ/ මව්බිම (16.07.2017) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *