ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක්

‘ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම’ අරමුණු කර ගනිමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහනට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කය සහ අම්පාර දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කයන්හි තෝරාගත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි දී පැවැත්විණි.

මෙම අවස්ථාවන්ට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්, මොණරාගල, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංගම් වල නිලධාරීන්, තෝරාගත් පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.

මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අවම පහසුකම් යටතේ වුවද ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙහි රැඳීමට මෙම ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම උත්තේජනයක් වේ යැයි තමන් බලාපොරොත්තු වන බවයි. දක්ෂතාවය සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහසුතාවයකින් තොරව ඉදිරියට යාමට අවස්ථාවන් සකස් කරදීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීමක් වන අතර ඒ සඳහා අවශ්‍ය උපරිම මැදිහත්වීම සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින් කටුක ජීවිත ගත කරන සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ජයග්‍රහණ හිමි කර ගැනීමට තම අද්දැකීම් ශක්තියක් වන අයුරු ද දක්නට ලැබෙන බවත්, දරාගැනීමේ ශක්තිය ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවකට තිබිය යුතු විශිෂ්ට ගුණාංගයක් බවත් මෙම අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසන ලදී.

අම්පාර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නාගරික පාසල් වලට පමණක් සීමා වෙමින් පැවති පහසුකම් ග්‍රාමීය මට්ටම වෙත ගෙන එමින් ක්‍රීඩාව දියුණු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස ගන්නා බවයි.

පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් කැපවීමෙන්, දක්ෂතා ඔප්නංවා ගනිමින් ක්‍රීඩාවෙන් ඉදිරියට යන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අම්පාර, මොණරාගල දිස්ත්‍රික්ක වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට යනු දැකීම තම බලාපොරොත්තුවක් වන බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වශයෙන් ග්‍රාමීය මට්ටමේ දක්ෂතා සහිත දරුවන්ගේ දක්ෂතාවයන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවත් පැවසුවේ ය.

ජාතීන් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙන්කර හඳුනා නොගන්නා අතර සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් ලෙස හඳුනා ගන්නා බවත්, ක්‍රීඩාව තුළින් සහජීවනයත්, සංහිඳියාවත් ගොඩනැගිය යුතු බවත් මෙහිදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Back To Top