දෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 4 ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉරිදා පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතරකින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් 1 – 0ක් ලෙසට ඉදිරියෙන් පසු වේ. ප්‍රථම තරගය සෙනසුරාදා විසඳුමකින් තොරව නිම වුයේ අයහපත් කාලගුණය මතය.

ග්‍රෙනෙඩා දූපතේ ශාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණයේ දී ඉරිදා පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.

බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 101ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 102ක් රැස් කර කඩුලු හතරකින් ජය ගත්තේ පන්දුවාර 18.1කට පමණක් මුහුණ දෙමිනි.

මේ තරගයේ ආරම්භක පිතිකාරිණියක ලෙස පන්දු යවමින් ලකුණු 13කට කඩුලු දෙකක් දවා පසුව ආරම්භක පිතිකාරිණියක ලෙස පන්දු 26ක දී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමග ලකුණු 39ක් රැස් කළ ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 102ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා හසිනි පෙරේරා සහ නායිකාව චමරි අතපත්තු ප්‍රථම කඩුල්ලට පන්දුවාර 7.3ක දී වේගවත් ලකුණු 62ක් රැස් කළේ පන්දු වාරයකට ලකුණු නවයක් ආසන්න වන පරිදි වේගයෙනි. මුළු ලකුණු 62 දී හසිනි පෙරේරා කොදෙව් නායිකා හේලි මැතිව්ස්ගේ පන්දුවකට එල්ල කළ පහරක් රාම්හාරක් දක්ෂ උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් හසිනි දැවී ගියාය. ඇය පන්දු විස්සකට මුහුණ දී හතරේ පහර දෙකක් සමග ලකුණු 18ක් රැස් කර සිටියාය.

ශ්‍රී ලංකා කාන්තා ප්‍රථම කඩුල්ලට ලකුණු 62ක් රැස් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 40ක් පමණකි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ නැවත වරක් ඔවුනගේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වු නායිකාව සහ ආරම්භක පිතිකාරිණිය පන්දු 36ක දී ලකුණු 28ක් රැස් කළේ හතරේ පහර දෙකක් ද සමගය. එහෙත් කණ්ඩායම් දෙකේම වැඩිම ලකුණු ලාභිනිය වුයේ චමරි අතපත්තුය.

ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නිය මල්කි මදාරා ලකුණු 16කට කඩුලු තුනක් ද නිලක්ෂිකා සිල්වා ලකුණු 20කට කඩුලු තුනක් ද දවාලමින් දැක් වු දක්ෂතා මත කොදෙව් කාන්තා කණ්ඩායමට රැස් කර ගත හැකි වුයේ ලකුණු 101ක් පමණකි.

ලකුණු විස්තරය

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී සියල්ල දැවී ලකුණු 101 – හේලි මැතිව්ස් 28, ස්ටෙෆානි ටේලර් 14, ඩීන්ඩ්‍රා ඩොටින් 13, මල්කි මදාරා 16/3, නිලක්ෂිකා සිල්වා 20/3, චමරි අතපත්තු 13/2, කවීෂා දිල්හාරි 16/1

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.1ක දී කඩුලු හයක් දැවී ලකුණු 102 –  චමරි අතපත්තු 39, හසිනි පෙරේරා 18, කවීෂා දිල්හාරි නොදැවී 18, විශ්මි  ගුණරත්න 10, ඇෆි ෆ්ලෙචර් 16/2, කුයිනා ජෝශප් 13/2

Back To Top