යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු, ජාතික සමගියේ සංකේතයක්. – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (සැප්තැම්බර් 01) යාපනය මණ්ඩතිව් දූපතේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වූ ජනපති අනුර කුමාර දිසානායක පැවසුවේ, යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රීඩාංගනයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් වන බවයි.
එමෙන්ම යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය මේ වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළතත් පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තැබූ මෙම පියවර ඇගයීමට ලක් කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, යාපනය දිස්ත්‍රික්කයට මෙවැනි ඉදිකිරීමක් හිමි වීමම, එහි ජීවත් වන දරු දැරියන්ට පමණක් නොව, සියලුම දෙනාටම මහඟු සම්පතක් වන බවයි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන නව රජයේ වැඩපිළිවෙලට අනුව රට පොහොසත් වනවා සේම, ජීවතය ලස්සන කිරීමට, සියලුම ප්‍රදේශ වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවට අවස්ථාවන් උදා කරලීම රජයේ බලාපොරොත්තුව වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ක්‍රීඩා සංගම් දියුණු කිරීම හරහා, මෙරට තුළ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කරලීමට මේ වනවිටත් අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදු කරන බවත්, යාපනයේ ඉදිකරන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ජාතික සමගියේ සංකේතයක් වන බවත්, දශක ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ හීනයක් සැබෑ කර ගැනීමක් ලෙස මෙම අවස්ථාව සලකන බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසුවේ ය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න, පාර්ලි⁣මේන්තු මැති ඇමතිවරුන් සහභාගී වූ අතර තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී විය.

Back To Top