බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ.
ග්‍රෙනෙඩා දූපතේ සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පැවරීය. කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු 119 පහසුවෙන් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 121ක් රැස් කරමින් කඩුලු නවයක ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු 14ක් ම ඉතිරිව තිබිය දී ය.
තෙවැනි විස්සයි 20 තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණේ පන්දු 59ක දී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 52ක් රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණිය හසිනි පෙරේරාය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තුය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 120ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා හසිනි පෙරේරා සහ නායිකාව චමරි අතපත්තු පන්දුවාර හතක් තුළ දී පළමු කඩුල්ලට ලකුණු 49ක් රැස් කළහ. පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු හතක සංඛ්‍යාව ශ්‍රී ලංකා ඉනිම පුරා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පිතිකාරිණියන් සමත් වීම කැපී පෙනුණු සිදු වීමකි.
චමරි අතපත්තු මුළු ලකුණු 49දී දැවීයාමෙන් පසුව දෙවැනි කඩුල්ලට හසිනි පෙරේරාට එක් වු අංක තුන පිතිකාරිණිය ඉමේෂා දුලානි දෙවැනි කඩුල්ලට නොදැවී ලකුණු 72ක සබඳතාවයක් තබා ගත්තේ පන්දුවාර 10.4ක දී ය. මෙදින නායිකා චමරි අතපත්තු පන්දු 22කට පමණක් මුහුණ දී හතරේ පහර පහක් සමග ලකුණු 32ක් ද අංක තුන පිතිකාරිණිය ඉමේෂා දුලානි පන්දු 25කට මුහුණ දී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 34ක් ද වේගවත්ව රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 14ක් ඉතිරිව පහසු ජයකට මග පාදමිනි.
24 හැවිරිදි ඉමේෂා දුලානි දකුණතින් පිත්ත හසුරු වන මීට කලින් ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම (ඒ) නියෝජනය කර ඇති සීනිගම කාන්තා කණ්ඩායමේ ද ක්‍රීඩිකාවකි.
ලකුණු විස්තරය
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු පහක් දැවී ලකුණු 119 – චිනෙලි හෙන්රි නොදැවී 32, ඩීන්ඩ්‍රා ඩොටින් 28, ස්ටෙෆානි ටේලර් 24, ඉනෝකා රණවීර 16/2, සුගන්ධිකා කුමාරි 32/2, කවීෂා දිල්හාරි 13/1
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17.4ක දී කඩුල්ලක් දැවී ලකුණු 121 – හසිනි පෙරේරා නොදැවී 52, ඉමේෂා දුලානි නොදැවී 34, චමරි අතපත්තු 32, ඇෆී ෆ්ලෙචර් 14/1

