ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට කඩුලු 9 ක ජයක්

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (04 දා) සමත්වූවේය. ඒ් අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට රෙහාන් පීරිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක සම්බන්තාවක් පැවැත්වීමට මැද පෙළ පිතිකරූවන් වූ සව්රව් කර්මකාර් සහ ජුනයිඩ් හොසේන් සමත් වුවද ඒය බංග්ලාදේශ පරාජය වළකාලීමට ප්‍රමාණවවත් නොවිණ.

බංග්ලාදේශ පිල වෙනුවෙන් සව්රව් කර්මකාර් ලකුණු 123 ක් ද ජුනයිඩ් හොසේන් ලකුණු 78 ක්ද ලබා පිත්තෙන් දස්කම් දැක්වූහ. ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ජයග්‍රහණය මඳකට ප්‍රමාද කළ මොවුන් දෙදෙනාගේ පිති හරඹය අතුරින් වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දුන්නේ කර්මකාර් වන අතර ඔහු පන්දු 257 කට මුහුණ දුන්නේය. ඒ් ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් ද ඇතුළත් කර ගනිමිනි. ඔහුට සහාය දුන් ජුනයිඩ් හොසේන් පන්දු 198 කී ලකුණු 78 ක් රැස් කර ගත්තේ හතරේ පහර 4 ක්  පමණක් සිය  ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ පිලට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 106.1 කදී ලකුණු 278 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. ඒ අනු ඔවුන් ඉනිමක පරාජයෙන් ගැලවුණු අතර ජයග්‍රහණය සඳහා ලබාගත යුතු ලකුණු 68 ක ඉලක්කය පන්දුවාර 10.2 කදී ඒක් කඩුල්ලක් පමණක් දැවී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී ශතක ලාභී නායක රෙහාන් පීරිස් ලකුණු 22 ක් ද හිරුන් මතීෂ ලකුණු 19 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ. ඉනිම ආරම්භ කළ අරෝෂ සිතුමිණ ලකුණු 24 ක් ලබා ගත්තේය.

පෙර දිනයේදී දැවී ගිය කඩුලු 6 න් 5 කට  හිමිකම් කියූ වමත් දඟ පන්දු යවන හිමරු දේශාන් අද දීනයේදී තවත් කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායකත්වය ලබා දුන්නේය. ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිල වෙනුවෙන් වැඩිම පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ හිමරු (46.1) නිලකණ් පන්දුවාර 14 ක්ද සමගින් ලකුණු 98 කට කඩුලු 8 ක් දවා ගත්තේය. පළමු ඉනිමේදීද කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ හිමරු සමස්ථ තරගයේදී බිඳ හෙළන ලද මුලු කඩුලු සංඛ්‍යාව 11 කි.

බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 30.3 කදී සියලු දෙන දැවී ලකුණු 122 යි – (කස්වර් අහමඩ් 21, සව්රව් කර්මකාර් 42, මිනුග නෙත්සර 34/3, හිමරු දේශාන් 44/3, මනිත රාජපක්ෂ 21/3)

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 99.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 335 යි – (රෙහාන් පීරිස් 182, අරෝෂ සිතුමිණ 00, හිරුන් මතීෂ 18, ජේසන් ප්‍රනාන්දු 65, ස්ටීවොන් පීරිස් 19, සෙනුල් වීරරත්න 02, හිමරු දේශාන් 04, මනිත රාජපක්ෂ 27*, සහිදුල් ඉස්ලාම් 114/5)

බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩඩායම දෙවැනි ඉනිම පන්දුවාර 106.1 කදී සියලු දෙනා දැවී ලකුණු 278 යි – (ලෝරන්ස් රෝයි 26, රකිබුල් හොසේන් 23, සව්රව් කර්මකාර් 123, ජුනයිඩ් හොසේන් 78, හිමරු දේශාන් 93/8, මිනුග නෙත්සර 43/1, මනිත රාජපක්ෂ 71/1)

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 10.2 කදී ඒක් කඩුල්ලක් දැවී ලකුණු 68 යි – (රෙහාන් පීරිස් 22*, අරෝෂ සිතුමිණ 24, හිරුන් මතීෂ 19*)

Back To Top