වසර 57 ට පමණ පසු ශ්‍රී ලංකාව තුළ දී ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලිය පසුගිය 2025 මැයි 12 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය ඊයේ (23) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ ලේකම් හා ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිස් රොබට්ස්,කසකස්තානයේ අන්තර්වාර ASBC සභාපති අසීස් කොෂම්බෙටොව්, ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති හා නිලධාරීන් ඇතුලු විශේෂ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.
රටවල් 24 කට වැඩි සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 400 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟාවලියට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL), ආසියානු බොක්සිං සම්මේලනය (ASBC) සහ ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) සමඟ සහයෝගයෙන් මෙම තරඟාවලිය සංවිධානය කළ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ආයතන වලින් ද සහයෝගය ලබාදුනි.