National Youth Sports Fest 2025 ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද (21දා) සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය.
දිස්ත්‍රික්ක 26ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන් සහභාගී වී සිටි අතර, ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කය දිනාගත්තේය. අනුශුරතාවය ගම්පහ දිස්ත්‍රික්කයට සහ තෙවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයට හිමි විය.
මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සයුරි ලක්ෂිකා මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර,දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ KAD මල්ෂාන් සම්මාන දිනාගත්තේය. දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට YAMAHA ආයතනයේ අනුග්‍රහයෙන් යතුරු පැදි දෙකක් පිරිනැමීය.
මෙහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ , තාරුණ්‍යය තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් යෞවන ක්‍රීඩා උළෙල දායකත්වය සපයනු ඇති බවයි. ජාතික මහා ක්‍රීඩා උළෙල මෙන්ම යෞවන ක්‍රීඩා උළෙලට අවශ්‍ය නිසි වටිනාකම ලබාදෙමින් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සපයමින්, තරුණයින් අතර ක්‍රීඩාව වර්ධනය කිරීමට ජාතික තරුණ සේවා සභාව ගෙන ඇති ප්‍රයත්නය අගය කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සඳහන් කළේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150,000ක සහභාගීත්වයෙන් ප්‍රාදේශීය, දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහකයින් ජාතික මට්ටමට ගෙන ඒම ක්‍රීඩාවේ සංවර්ධනයට රුකුලක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න පැවසුවේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අභියෝගය ජයගැනීමට ක්‍රීඩාව තුළින් ප්‍රවේශයක් ලැබෙන බවයි. මෙවර ක්‍රීඩා උළලේ දී යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත සුවිශේෂී ජයග්‍රහණ අත්කරගෙන ඇති බවත්, යාපනය ප්‍රසාද ලකුණු සටහනේ මුල් දිස්ත්‍රික්ක 10 තුළ සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ලබන වසරේ දී ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව මධ්‍යස්ථානය සංවර්ධනය කරමින්, ක්‍රීඩා අංශයේ විශේෂ පියවර කිහිපයක් තැබීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රීඩාවලට සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළඹ තිස්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න, මහරගම නගරාධිපති සමන් සමරකෝන්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක , ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, ජාතික යොවුන් සේනාංකයේ සභා අධ්‍යක්ෂ අංජන සම්පත් අමරසිංහ, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මනුල චමල් පෙරේරා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සහභාගී වී සිටියහ.


