චාමික හීනටිගලගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට රැගෙන යයි

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගය හෙවත් ඇෆ්ගනිස්තානු අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (15 දා) පස්වරුවේ සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමග ‘බී‘ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අමතරව ‘බී‘ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලද අනෙක් කණ්ඩායම වන්නේ තරග 2 දී ජයග්‍රහණ දෙකක් වාර්තා කරගත් බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව ‘බී‘ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම තීරණය කෙරෙන තරගය වන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මේ මස 17 වැනිදා පැවැත්වෙනු ඇත.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 236 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 2 ක් අත දරාගෙනය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු චාමික හීනටිගල ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නිර්මාතෘවරයා බවට පත්වූවේය. එතරම් කලබල නොවූ හීනටිගල අවසන් පන්දුවාරය වන තෙක්ම රැස් කරගෙන සිටියේ පන්දු 55 කදී ලකුණු 41 ක් පමණි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 6 දී ලකුණු 8 ක් ලබා ගත යුතු වූ අතර ඒ අනුව ඉදිරියට පැමිණි හීනටිගල අබ්දූල් අසීස්ගේ පළමු පන්දුව හතරේ සීමාවට ඉහළින් යවමින්ද දෙවැනි පන්දුව හතරේ සීමාව පසුකර හරිමින්ද යවන ලද්දේ තරගය අවසන් වන විට සිය අර්ධ ශතකයද වාර්තා කර ගනිමිනි. තරගය අහවර වන විට හීනටිගලගේ ඉනිම සටහන් වූයේ පන්දු 57 කදී ලකුණු 51 ක් ලෙසිනි. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්වුනු හීනටිගලගේ ඉනිම සඳහා තරගයේ වීරයා සම්මානයද වෙන් වූවේය.

මුලු ලකුණු සංඛ්‍යාව 186 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි පිතිකරුවාද දැවී යෑම ශ්‍රී ලංකා ජයග්‍රහණයට අතුල් පහරක් එල්ල කරන්නක් විය. එහෙත් 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුල්නිත් සිගේරාට එක් වූ හීනටිගල 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 31 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා යොවුන් බලාපොරොත්තු ඉහළ දැමූහ. එහෙත් ලකුණු 22 ක් ලබා සිටි දුල්නිත් දැවී යෑම නිසා තරගයේ වාසිය යළිත් ඇෆ්ගනිස්තානුවෝ සතු වූහ. අනතුරුව ශ්‍රී ලංකාව අසරණ භාවයට පත්වූයේ 8 වැනි කඩුල්ලද තවත් ලකුණු 03 ක් එක් වන විට බිඳ වැටීමෙනි.

එහෙත් තමාගේ සේවය අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වුණු හීනටිගල, ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඔහුට අමතරව උප නායක කවීජ ගමගේ පන්දු 46 කදී ලකුණු 34 ක් ද ආරම්භක පිතිකරු විරාන් චමුදිත පන්දු 83 කදී ලකුණු 62 ක්ද ලබා ශ්‍රී ලංකා යොවුන් ඉනිම පෝෂණය කළහ. දිමන්ත මහවිතාන සමඟ පළමු කඩුල්ලට එක් වූ විරාන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් එක් කළහ. දිමන්ත පන්දු 30 කදී ලකුණු 27 ක් ලබා ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 235 ක් රැස් කිරීමට සමත්වූවේය. මෙහිදී ප්‍රතිවාදී පිල වෙනුවේන වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ආරම්භක පිතිකරු ඔස්මාන් සදාත් වන අතර ඔහු පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දුල්නිත් සිගේරා ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගනිද්දී නේපාලයට එරෙහි තරගයේදී කඩුලු 5 ක් දවා ගත් සෙත්මික සෙනෙවිරත්න ලකුනු 49 කට කඩුලු 3 ක් බිඳ හෙළීය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ චාමික හීනටිගල සහ රසිත් නිම්සර කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ඇෆ්ගනිස්තානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 59.5 කදී සියලු දෙනා දැවී ලකුණු 235 යි – (ඔස්මාන් සදාත් 52, ෆයිසාල් ශිනොසදා 39, උසයිරුල්ලා නියාසායි 25, මෙහෙබූබ් ඛාන් 25, අසීසුල්ලා මියාබිල් 31, නූරිස්තානි ඔමර්සායි 29, දුල්නිත් සිගේරා 33/3, සෙත්මික සෙනෙවිරත්න 49/3, චාමික හීනටිගල 33/2, රසිත් නිම්සර 42/2)

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 49.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 238 යි – (චාමික හීනටිගල 51*, දිමන්ත මහවිතාන 27, විරාන් චමුදිත 62, කවීජ ගමගේ 34, විමත් දින්සර 15, දුල්නිත් සිගේරා 22, නුරිස්තානි ඔමර්සායි 52/3)

Back To Top