ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’ වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද (අගෝස්තු 20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් සපත්තු කට්ටල 9995 ක්, පන්දු විසිකිරීමේ උපකරණ කට්ටල 97 ක්, ක්‍රිකට් පන්දු 2760 ක් බෙදා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, පාසල් මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනැගීම මඟින් ජාතික මට්ටමේ දී සාර්ථක ක්‍රීඩකයින් බිහි කරගත හැකි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සිදු කරන මෙම ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස ස්තුතිය පිරිනමන බවත්, පාසැල් ක්‍රීඩාවේ බොහෝ ගැටලු ප්‍රමාණයක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා සිදු කර පාසැල් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ ය.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදෙසා මෙරට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත්, අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ක්‍රීඩාවේ පසුගාමී දියුණුවක් පවතින අතර එම ප්‍රදේශවල ක්‍රීඩාව දියුණු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස දක්වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුළු ආරාධිත පිරිස ද, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගී විය.

Back To Top