ශ්‍රී ලංකා – චීන තායිපේ තරගයේ ගෝල තුනට එකක් ලෙස විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගවටයේ ශ්‍රී ලංකා – චීන තායිපේ තරගයේ ගෝල තුනට එකක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්වුණා.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල රැස්කළේ නැහැ. නමුත් දෙවන අර්ධයේ සැලසුම්සහගතව ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩාකයන් ගෝල තුනක් රැස් කළ අතර ප්‍රතිවාදීන්ට ලබාගත හැකි වූයේ එක් ගෝලයක් පමණයි.

දෙවන අර්ධයේ කැපී පෙනෙන ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ආධවන් රාජමෝහන් විසිනි. ඩිලන් පෙරේරා ගේ සහයෙන් වාර්තා වූ එම ගෝලය වාර්තා වූයේ තරගයේ 49 වන විනාඩියේදී යි. ඉන් විනාඩි කිහිපයකට පසු එනම් තරගයේ 53 වන විනාඩියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට ඩිලන් පෙරේරා සමත්වුණා. තරගයේ 58 වන විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට වසීම් රසීක් සමත්වූයේ ක්‍රීඩාංගණයේ රැස්ව සිටි 4,000කට ආසන්න ශ්‍රී ලංකා පාපන්දු ලෝලින් අමන්දානන්දයට පත්කරමින්.

තරගයේ 70 වන විනාඩියේදී චීන තායිපේ කණඩායම වෙනුවෙන් Huang Wei – Chieh පළමු හා එකම ගෝලය වාර්තා කිරීමට සමත්වුණා.

ඒ අනුව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 166 වන ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායම පරාජයට පත්කිරීම විශේෂත්වයක්.

ඉදිරියේ පැවැත්වෙන D ඛාණ්ඩයේ තරග හතරම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු ශූරතාවය වෙනුවෙන් තරග වදිනු ඇත.

Back To Top