පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය

ොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය (‘Women’s T20 world Cup – Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ප්‍රධානී ආචාර්ය ජී. කිවදාසන්නවර් (Dr.G. Kivadasannavar), ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති එම්. ආර් සුදේශ් තරංග, ඉන්දියාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති බූසේ ගවුදා (Mr. Buse Gawda), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් සහභාගී විය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශාරීරික දුර්වලතාවයන් මත පුද්ගලයන් හඳුනා ගැනීම ඔවුන්ට කරන අසාධාරණයක් ලෙස තමන් දකින බවයි. එම නම වෙනුවට වෙනත් නාමයක් යොදා ගැනීමට කාරුණික වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.

වත්මන් රජය වශයෙන් මෙම තරඟාවලිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, තරඟාවලිය සඳහා ඉදිරිපත් වන මෙරට නියෝජනය කරන මෙම ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට අවශ්‍ය මැදිහත් වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය වශයෙන් සිදුකරන බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ක්‍රීඩාවේ වර්ගීකරණ ගණන වැඩිවීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරග ප්‍රමාණය වැඩිවීමට ද හේතුවක් වන බවයි. ක්‍රීඩාව සඳහා මෙරට සියලු පුරවැසියන් යොමු කරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තියක් වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම තරඟාවලිය ඕස්ට්‍රේලියාව,එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය යන ලෝකයේ රටවල් 07ක සහභාගීත්වයෙන් පැවැත් වේ. මෙම පන්දුවාර විස්සයි 20 පළමුවන දෘශ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරයි. මෙම තරඟාවලිය ඉන්දියාවේ දී ආරම්භවන අතර සමාප්ති උළෙල ඇතුළුව තරඟ 15 ක් නොවැම්බර් 14 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

 

Back To Top