දඹුල්ලෙන් කොළඹට පළමු ඉනිමේ අභියෝගය ලකුණු 408 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (07 දා) දෙවැනි දිනයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ලකුණු 408ක් ලබා කොළඹ පිලට දැවැන්ත ඉලක්කයක් එල්ල කළ අතර, දෙවැනි දිනයේ තරගය නතර කරද්දී කොළඹ පිල එම අභියෝගයට සාර්ථක ආරම්භයක් ගෙන කඩුලු 2ක් දැවී ලකුණු 153ක් ලබා සිටියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දඹුල්ල – කොළඹ අතර තරගයේදී දඹුල්ල පිලේ  අංජල බණ්ඩාර ලකුණු 95කට දැවී ගිය හෙයින් ඔහුට ශතකය අහිමිවී ගියේය. කොළඹ පිලේ රවිඳු රසාන්ත ලකුණු 68ක් හා තරිඳු අමරසිංහ ලකුණු 52ක් ලබා ඉනිම ශක්තිමත් කළහ. කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ නායක ධනංජය ද සිල්වා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

දඹුල්ල පිල පළමු ඉනිම ඕවර් 120කදී සියලු දෙනා දැවී ලකුණු 408

නිශාන් මධුෂ්ක 97, තනුක දාබරේ 56, කවීන් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, චමිඳු වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 49, අකිල ධනංජය ‍නොදැවී 26 (ප්‍රභාත් ජයසූරිය 110/3, චමෝද් බැට්ටගේ 57/2, ජනිත් ලියනගේ 28/2)

කොළඹ පිල පළමු ඉනිම ඕවර් 39කදී කඩුලු 2ක් දැවී ලකුණු 153

රවිඳු රසාන්ත 68, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් නොදැවී 19 (ශක්ති උදාර 29/2)

ගාල්ල – මහනුවර

මහනුවර පිලේ වේග පන්දු යවන චාමික ගුණසේකර ලකුණු 45කට කඩුලු 5ක් බිදහෙලීමත් සමඟ ගාල්ල පිලේ පළමු ඉනිම ලකුණු 260කට සීමාවූ අතර, අද දෙවැනි දිනය නිමාවෙද්දී මහනුවර පිල කඩුලු 7කට ලකුණු 199ක් ලබා තවත් ලකුණු 61ක් පසුපසින් සිටී.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ගාල්ල පිලේ අංක 7 පිතිකරු රමේෂ් මෙන්ඩිස් ලකුණු 70ක් ලබා ඉනිම ශක්තිමත් කළ අතර, පිළිතුරු මහනුවර පිලේ අංක 4 පිතිකරු ෂම්මු අෂාන් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.

ගාල්ල පිලේ නායක පසිඳු සූරියබන්ඩාර කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු ඔෂධ ප්‍රනාන්දු ඊයේ පළමු දිනයේදී ලකුණු 84ක් ලැබීය.

ගාල්ල පිල පළමු ඉනිම ඕවර් 80.2කදී සියලු දෙනා දැවී ලකුණු 260

ඔෂධ ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, ඉසිත් දේව් විජේසුන්දර 27, රමේෂ් මෙන්ඩිස් 70 (දුලාජ් සමුදිත 51/3, චාමික ගුණසේකර 45/5, ජෙෆ්රි වැන්ඩර්සේ 39/2)

මහනුවර පිල පළමු ඉනිම ඕවර් 54කදී කඩුලු 7ක් දැවී ලකුණු 199

පවන්ත වීරසිංහ 15, චාමික හීනටිගල 18, ෂම්මු අෂාන් 52, අෂේන් බණ්ඩාර 28,  සොහාන් ඩී ලිවේරා 20, චාමික කරුණාරත්න නොදැවී 34 (ඉසිත් දේව් විජේසුන්දර 55/4, අසංක මනෝජ් 47/2 )

Back To Top