හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට

ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.

සංගීත් කුරේට අමතරව සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ සහ චමිඳු විජේසිංහ මෙම සංචිතයට ඇතුළත් වෙති. නයකත්වයට අමතරව සංගීත් කුරේ කඩුලු රකින්නා ලෙස නම් කර ඇති අතර, කණ්ඩායම් කළමනාකරු ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම සහ ආකර්ෂණීයම ආකෘති අතරට ගැනෙන හොංකොං සික්සර්ස් තරගාවලිය මෙවර රටවල් 12ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ වන තරගාවලියේ සියලු තරග හොංකොංහි ටින් ක්වොන්ග් රෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය සමඟ ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ඔක්තෝබර් 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ස්කොට්ලන්තය සමඟ තරගය ඔක්තෝබර් 31 වැනිදා පැවැත්වේ.

2024 වසරේදී හොංකොං සික්සර්ස් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසරේදී එම කිරුළ රැකගැනීමට නොහැකි වුවද, ‘බෝල්’ ශූරතාව දිනාගැනීමට හැකි විය.

ලහිරු මධුශංකගේ නායකත්වයෙන් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී හොංකොං සහ බංග්ලාදේශයට එරෙහිව සහභාගි වූ තරගවලදී පරාජයට පත්වීම නිසා ‘බෝල්‘ තරග වටයට ක්‍රීඩා කිරීමට සිදුවිය.’ තරග වටයේදී දස්කම් අතරට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නේපාලය කඩුලු තුනකින්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 39කින්ද, ඉන්දියාව ලකුණු 48කින්ද පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 21 ක ජයක් ලද ශ්‍රී ලංකාව එවල බෝල් ශූරතාව දිනාගත්තේය.

ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම – සංගීත් කුරේ (නායක), සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, චමිඳු විජේසිංහ, සමන්ත දොඩන්වෙල මහතා (කලමනාකරු)

Back To Top