2026 IPL තරගාවලියේ 33වෙනි තරගය ඊයේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර ඊයේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදි පැවැත්වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාද කරමින් ලකුණු 103ක පහසු ජයක් වාර්තා කිරීමට රුතුරාජ් ගයික්වාඩ් ප්රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත්ත මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාන්ඩ්යා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සංජු සැම්සන් සහ නායක රුතුරාජ් ගයික්වාඩ් පළමු කඩුල්ලට ලකුණු 32ක් එක්කිරීමට සමත්වූහ.
කෙසේවෙතත් එක් අන්තයක සිට නොදැවී සංජු සැම්සන් දියත් කළ විශිෂ්ට ඉනිම සහ රුතුරාජ්ගේ ලකුණු 22ත්,ඩෙවෝල්ඩ් ට්රවිස්ගේ ලකුණු 21ත් හැර කිසිදු චෙන්නායි පිතිකරුවෙක් හෝ අවම ලකුණු 20 සීමාව පසු කිරීමටවත් අසමත්වූහ.
මෙවර IPL තරගාවලියේ සිය දෙවෙනි ශතකය වාර්තා කළ සංජු සැම්සන් පන්දු 54කින් නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 10ක් සහ හයේ පහර 6කින් වර්ණවත් විය.මීට පෙර 18වෙනි තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවද ඔහු ශතකයක් වාර්තා කර තිබුණි.
නියමිත පන්දුවාර 20 අවසන් වනවිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 207ක් රැස් කරගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ මුල්පෙළ කඩුලු 3ම ලකුණු 11ක් තුළ දවාගෙන ආරම්භයේදීම මුම්බායි ඉනිමට දැඩි පීඩනයක් ලබාදීමට අකීල් හුසේන් සහ මුකේෂ් චෞද්රි සමත් වූහ.
සිව්වන කඩුල්ලට සූර්යකුමාර් යාදව් සහ තිලක් වර්මා අතර ගොඩ නැගුණු ලකුණු 73ක සබදතාවය හේතුවෙන් බිදවැටුණු මුම්බායි ඉනිම යම් ස්ථාවරත්වයකට පත් වුවත් නැවතත් ක්‍රියාත්මක වූ අකීල් හුසේන් සහ නූර් අහ්මඩ් පීඩනය නැවත මුම්බායි ඉනිම වෙත හැරවීමට සමත් වූහ.
ලකුණු 208ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු කඩුලු දැවී ගොස් රැස් කරගත්තේ ලකුණු 104ක් පමණයි.ඒ අනුව ලකුණු 103කින් මෙම තරගය ජයග්‍රහණය කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ තුන්වෙනි ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූහ.
පන්දු යැවීමේදි ලකුණු 17කට කඩුලු 4ක් දවාගත් අකීල් හුසේන් මුම්බායි ඉනිම දැඩි පීඩනයකට හසු කිරීමට සමත් වූවේය.
ඊයේ තරගයේ ප්‍රතිඵලයත් සමග මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 5වෙනි ස්ථානයේ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 8වෙනි ස්ථානයේ පසුවේ.
ලකුණු විස්තරය
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 6කට ලකුණු 207යි.
සංජු සැම්සන් නොදැවී 101,රුතුරාජ් ගයික්වාඩ් 22,ඩෙවෝල්ඩ් ට්‍රවිස් 21
අල්ලාහ් ඝසන්ෆර් 25/2,අශ්වානි කුමාර් 37/2,ජස්ප්‍රිට් බුම්රා 31/1,මිචෙල් සැන්ට්නර් 44/1
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 104යි.
තිලක් වර්මා 37,සූර්යකුමාර් යාදව් 36
අකීල් හුසේන් 17/4,නූර් අහ්මඩ් 24/2,අන්ශුල් කාම්බෝජ් 10/1,ජෙමී ඕවර්ටන් 14/1,ගුර්ජාප්නීත් සිංග් 7/1,මුකේශ් චෞද්රි 31/1
Hashi Wijesinghe

