තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති උළෙල, ඊයේ දින (අගෝස්තු 31) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, මනුෂ්‍යයින් නීරෝගී කිරීමේ අපූරු හැකියාවක් ක්‍රීඩාවට පවතින අතර නීරෝගී, විනයගරුක ශක්තිමත් ජනතාවක් ගොඩ නැගීමට ක්‍රීඩාව රටකට අත්‍යවශ්‍යය දෙයක් වන බවයි.
වර්තමානයේ දී විවිධ ජයග්‍රහණ ගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට තුළ ජනප්‍රිය නොවීමට හේතුව ඔවුන්ගේ දක්ෂතාවයේ අඩුවක් නිසා නොවන බවත්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජනතාවට පෙන්වා දෙන්න හෝ රටට හඳුන්වා දෙමින් ඔවුන්ට නිසි පිළිගැනීමක් ලබා දීමට රටක් ලෙස අපොහොසත් වීම එයට හේතුව වූ බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා ය.
නව රජය වශයෙන් සියලුම ක්‍රීඩාවන්ට නිසි පිළිගැනීමක්, වටිනාකමක් ලබා දෙමින් සියලු ක්‍රීඩාවන්ට සමාන ප්‍රවේශයක් ඇති කිරීම, අවශ්‍ය පහසුකම් සැලසීම, ක්‍රීඩා පුහුණුව, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ ආර්ථිකය ශක්තිමත් කිරීම, ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත් වීම සිදු කරන බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න පැවසුවේ, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට හඳුන්වා දීමටත්, ක්‍රීඩාව මඟින් සාමය, සමගිය, සහජීවනය රට තුළත්, ඉන් පිටත ලෝකය වෙතත් ගෙනයාම සඳහාත්, ජාතික මහා ක්‍රීඩා උළෙල මහඟු තෝතැන්නක් වන බවයි. එමෙන්ම නායකත්වය, නීතිගරුක බව, විනයගරුක බව, සෞඛ්‍ය සම්පන්නමත් බවින් යුත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්, පුරවැසියන් මෙරටට බිහි කරන තරඟාවලියක් ලෙස මෙම ක්‍රීඩා උළෙල දැක්විය හැකි බව ඔහු පැවසුවේ ය.
මෙතෙක් ක්‍රීඩාව පැවතුණේ, ‘ලෝකය දිනිය යුතුයි’ යන සංකල්පයක පමණක් බවත්, නමුත් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම කිනම් හෝ ක්‍රීඩාවක නියැළීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා ක්‍රීඩා සංස්කෘතියක් ඇතිකරලීමේ අවශ්‍යතාවය පිළිබඳවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වන ලදී.
ජාතික මහා ක්‍රීඩා උළලෙන් තේරීපත් වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කර ඔවුන් රැකබලා ගැනීමටත්, ඔවුනට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දීමෙන් ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය, ඔලිම්පික් ආදී තරග දක්වා ගෙන යා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවත් තවදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදී.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව, ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බවත්, මෙරට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරලීමට කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා, ක්‍රීඩාවන්ට සහභාගී වීමෙන් පසු විවිධ ආබාධයන්ට ලක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සලකා ඉතිහාසයේ පළමුවරට සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රක්ෂණයක් හඳුවා දී ඇති බව ද පැවසුවේ ය.
ඉදිරියේ දී ජාතික සංචිතවල, ඔලිම්පික් සංචිතවල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රක්ෂණයක් ලබා දීමට ද බලාපොරොත්තු වන බව ද ක්‍රීඩා අමාත්‍යංශය ලෙස ඒ සඳහා අවශ්‍ය සියලුම මැදිහත්වීම සිදු කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.
පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලියට ඉදිරිපත් වූ අතර රන් පදක්කම් 83 ක් ලබාගෙන, සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.රන් පදක්කම් 43 ක් ලබා ගෙන, සමස්ත තරඟාවලියේ අනුශූරතාවය මධ්‍යම පළාත් කණ්ඩායම හිමි කරගත් අතර නව ජාතික මහා ක්‍රීඩා තරඟ වාර්ථාවන් පහක් පිහිටුවන්නට ඔවුන් සමත් විය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී විය.


