‘කිවි‘ දේශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම 2027 මුලදී

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා නවසීලන්තයට යෑමට නියමිතය. සංචාරය තුළ දෙරට අතර එක්දින තරග 3ක්, විස්සයි-20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නවසීලන්තයේ විවිධ ක්‍රීඩාංගණ අටක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය, 2027 වසරේ ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම ජාත්‍යන්තර අභියෝගය වනු ඇත.

මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වන්නේ 2023 වසරේ පැවැති සංචාරයෙන් පසුව වීමයි.

සංචාරය ජනවාරි 16 වැනිදා නේපියර්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වේ. ඉන් අනතුරුව දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙළින් වෙලිංටන් සහ ඩුනෙඩින් නගරවලදී පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියෙන් පසු විස්සයි-20 තරගාවලිය ආරම්භ වන අතර, පළමු තරගය ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි තරග දෙකම නෙල්සන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සංචාරයේ අවසාන සහ වඩාත් අවධානයට ලක්වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පෙබරවාරි මාසයේදී ආරම්භ වේ. පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 04 සිට 08 දක්වා ටවුරංගාහිදී පැවැත්වෙන අතර, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 12 සිට 16 දක්වා හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන
දිනය තරගය වේලාව
ජනවාරි 16 පළමු එක්දින තරගය – මැක්ලීන් පාක්, නේපියර් පෙ.ව. 4.30
ජනවාරි 19 දෙවැනි එක්දින තරගය –  බේසින් රිසර්ව්, වෙලිංටන් පෙ.ව. 4.30
ජනවාරි 22 තෙවැනි එක්දින තරගය -ඔටාගෝ ඕවල්, ඩුනෙඩින් පෙ.ව. 4.30
ජනවාරි 26 පළමු විස්සයි-20 තරගය – හෙග්ලි ඕවල්, ක්‍රයිස්චර්ච් පෙ.ව. 11.30
ජවාරි 27 දෙවැනි විස්සයි-20 තරගය – සැක්ස්ටන් ඕවල්, නෙල්සන් පෙ.ව. 9.30
ජනවාරි 31 තෙවැනි විස්සයි-20 තරගය – සැක්ස්ටන් ඕවල්, නෙල්සන් පෙ.ව. 6.30
පෙබරවාරි 04-08 පළමු ටෙස්ට් තරගය – බේ ඕවල්, ටවුරංගා පෙ.ව. 4.30
පෙබරවාරි 12-16 දෙවැනි ටෙස්ට් තරගය – සෙඩන් පාක්, හැමිල්ටන් පෙ.ව. 4.30
Back To Top