ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 ආණ්ඩුකාර හෙවත් ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී සඳලංකා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ඩක්වර්ත්-ලුවිස් (DLS) න්‍යාය මත ලකුණු 23ක ජයක් වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රු. හත්ලක්ෂ පනස්දහසකටද (750,000) හිමිකම් කීහ. අනුශූරතාවට පත් සඳලංකා ක්‍රීඩා සමාාජයට රු. ලක්ෂ 5 ක මුදලක් හිමිවිය.
කාසියේ වාසිය දිනූ සඳලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 237ක් රැස් කළේය. එහිදී ජනිත් රත්නසිරි පන්දු 76කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 60ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් විය.
ඔහු රිශ්ම අමරසිංහ සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96කදී ලකුණු 73ක වටිනා සබඳතාවක් ගොඩනැගීය. රිශ්ම අමරසිංහ පන්දු 42කදී ලකුණු 27ක් ලබා ගත් අතර, අමිල දයානක ලකුණු 31ක් සහ අයේෂ් හර්ෂණ වේගවත් ලකුණු 27ක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චමත් ගෝමස් ලකුණු 65කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණි. දේශාන් ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත් අතර ඩෙලෝන් පීරිස්, ඩිල්ශාන් මෙන්ඩිස් සහ ජනක සම්පත් එක් කඩුල්ල බැගින් හිමිකර ගත්හ.
ලකුණු 238ක ඉලක්කයක් හඹා ගිය සැරසන්ස් කණ්ඩායම තරගය වර්ෂාවෙන් නතර කරන අවස්ථාවේ පන්දුවාර 27කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 132ක් ලබා සිටියේය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ අතර, අවසන් ප්‍රතිඵලය ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව තීරණය කෙරිණි.
සැරසන්ස් ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් ජනක සම්පත් සහ අනුෂ්ක පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 57කදී ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගූහ. ජනක සම්පත් පන්දු 23කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 32ක් රැස් කළ අතර අනුෂ්ක පෙරේරා පන්දු 52කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 47ක් ලබා ගත්තේය.
තරගය නතර කරන විට නයන ප්‍රනාන්දු නොදැවී ලකුණු 27ක් සහ අමිත් දාබරේ නොදැවී ලකුණු 23ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 35ක සබඳතාවක්ද ගොඩනඟා තිබිණි.
සඳලංකා කණ්ඩායම වෙනුවෙන් පසිඳු උස්හෙට්ටි කඩුලු 2ක් දවා ගත් අතර චතුරමල් නිමේෂ් එක් කඩුල්ලක් හිමිකර ගත්තේය.
අවසන් මහා තරගයේ වීරයා ලෙස සැරසන්ස් කණ්ඩායමේ අනුෂ්ක පෙරේරා සම්මානයට පාත්‍ර වූ අතර ඔහුට මුදලින් රු. ලක්ෂයක් ද පිරිනැමිණ. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සඳලංකා කණ්ඩායමේ බිනර සංකේත්ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ලන්කන්ස් කණ්ඩායමේ සහන් කෞශල්‍ය ද සම්මාන දිනාගත් අතර ඔවුන්ට මුදලින් රු. එක්ලක්ෂ පනස් දහස බැගින් පිරිනැමිණ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ විරංග යෙශාන් සම්මාන දිනා ගත් අතර ඔහුට එම කුසලාන සමඟ රු. දෙලක්ෂ පනස්දහසක මුදලක් පිරිනැමිණ.
සඳලංකා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 237 යි (ජනිත් රත්නසිරි 60, අමිල දයානක 31, රිශ්ම අමරසිංහ 27, අයේෂ් හර්ෂණ 27, චමත් ගෝමස් 65/3, දේශාන් ප්‍රනාන්දු 38/2)
සැරසන්ස් කණ්ඩායම පන්දුවාර 27 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 132 යි – (අනුෂ්ක පෙරේරා 47, ජනක සම්පත් 32, නයන ප්‍රනාන්දු නොදැවී 27, අමිත් දාබරේ නොදැවී 23, පසිඳු උස්හෙට්ටි 38/2)

