ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ ජවය මනාව මුසු වූ සංචිතයක්ත් සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ බර්මින්හැම්හිදී සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයයි.
විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට වාර්තාවක් නොමැති බව නොරහසකි. එය වඩාත් පැහැදිළි වන්නේ 2009 වසරේ සිට මේ දක්වා ක්‍රීඩා කළ විස්සයි-20 ජාත්‍යන්තර තරගවල ජයග්‍රාහී ප්‍රතිශතය පිළිබඳව අවධානය යොමු කිරීමේදීය. මේ දක්වා සහභාගිව ඇති තරග 174 න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 64 ක් පමණි. එහි ජයග්‍රහණ ප්‍රතිශතය 36.78% කි. එහෙත් පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 14 න් 6 ක් ජයගනිමින් එම ප්‍රතිශතය 42.85% දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව සිටී.
ඊටත් වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පැමිණෙන්නේ අවසන් වතාවට සහභාගිවූ විදෙස් තරගාවලි 2 ම අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කර ගැනීමෙන් පසුව වීමයි. එහිදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී තරග දෙකක් සහ බංග්ලාදේශයේදී තරග තුනක් ජයගනිමින් ඔවුන් මෙම තරගාවලියට පෙර හොඳ ගමනක් සනිටුහන් කර තිබේ.
එම ජයග්‍රහණ එක් ක්‍රීඩිකාවක් මත පමණක් රඳා පැවති ඒවා නොවීම ශ්‍රී ලංකාවට ඇති ලොකුම වාසියකි. නායිකා චමරි අතපත්තු එම තරගාවලි දෙකේම “තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව” හිමි සම්මාන දිනාගත්තද, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ද තරග ජයග්‍රහණවලදී ප්‍රධාන චරිත බවට පත්වූ ක්‍රීඩිකාවන් බවට පත්වීම හේතුවෙනි. ඒ අනුව මීට වසර කිහිපයකට පෙර දක්නට ලැබුණු පරිදි චමරි අතපත්තුගේ පිත්ත මත පමණක් රඳා සිටින කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් සැලකිය නොහැක.
ශ්‍රී ලංකා සංචිතයේ පළපුරුදු ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම සිටිති. චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි එහි ප්‍රධානතම නාමයන්ය. ඔවුන් සමඟ පළමු වරට ලෝක කුසලාන අත්දැකීමක් ලබන ඉමේෂා දුලානි වැනි ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට එක්ව සිටිති. පිතිකරණ අංශය මේ වන විට ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම අංශය ලෙස සැලකිය හැකි අතර, චමරි අසාර්ථක වූ අවස්ථාවලදී පවා කණ්ඩායම ඉදිරියට ගෙන යා හැකි ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම එහි සිටීම කැපී පෙනේ.
කෙසේ වෙතත් ප්‍රශ්නාර්ථ මතු වන්නේ පන්දු යැවීමේ අංශය සම්බන්ධයෙන්ය. විශේෂයෙන්ම වේග පන්දු බලකාය තවමත් ඉහළ මට්ටම ජාත්‍යන්තර තරගවලදී සම්පූර්ණයෙන්ම තහවුරු කර නොමැත. 25 හැවිරිදි මල්කි මදාරා වේග පන්දු බලකායේ ප්‍රධාන බලාපොරොත්තුව වන අතර ශෂිනි ගිම්හානි වෙනුවට එක්වුණු චේතනා විමුක්ති ඇයගේ සහායිකාව බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලංකාව සහභාගිවුණු පුහුණු තරග දෙකෙන් පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී චේතනා කඩුලු 4 ක් දවා ගනිමින් ආධුනික ක්‍රීඩිකාවක් වුවද තමන්ට එංගලන්ත තණතීරුවල යමක් කළ හැකි බව ඔප්පු කිරීමට සමත්වූවාය.
එමෙන්ම 19 හැවිරිදි මිතාලි අයෝධ්‍යා ද සංචිතයේ අවධානය දිනාගත් නවක ක්‍රීඩිකාවකි. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව සිහිපත් කරන ආකාරයේ ක්රියාශෛලියක් ඇයට හිමිව ඇති අතර, එවැනි පන්දු යැවීමක් කාන්තා ක්‍රිකට් පිටියේ ඉතා දුර්ලභය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයුධය වන්නේ දඟ පන්දු බලකාය බවට සැකයක් නැත. චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි වැනි සියලු අංශයන්හි දායකත්වය ලබාදිය හැකි ක්‍රීඩිකාවන් සිටීම කණ්ඩායමේ සමතුලිතතාවය වැඩි කරයි.
වත්මන් පුහුණුකරු ජැමී සිඩන්ස්ගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ලකුණු රැස් කිරීමේ වේගය සහ ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහිය. ඒ සඳහා අතිරේක පිතිකාරිණියන් දෙදෙනකු කණ්ඩායමට ඇතුළත් කරමින් පන්දු යවන්නියන් හතර දෙනකු සමඟ ක්‍රීඩා කිරීමේ අදහසක් ද ඉදිරිපත් කර තිබේ.
“ඒක අපට හුරු පුරුදු දෙයක් නෙමෙයි. ඒත් ඒක කරන්නම වෙනවා“ යනුවෙන් ලෝක කුසලානයට පිටත්වීමට පෙර චමරි අතපත්තු සඳහන් කළාය.
ශ්‍රී ලංකාවට 2023 වසරේදී එංගලන්තයේදී විස්සයි-20 තරගාවලියක් ජයගැනීමේ සුන්දර මතකය ද තිබේ. එය විදේශ තත්ත්වයන් යටතේ කණ්ඩායමේ තරගකාරීත්වය තහවුරු කළ අවස්ථාවක් විය. එහෙත් 2024 ලෝක කුසලානය ඔවුන්ට අමතක කළ යුතු අත්දැකීමක් බවට පත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති එම තරගාවලියේදී ක්‍රීඩා කළ තරග හතරම ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
එමෙන්ම ශ්‍රී ලංකාව මෙවරත් පහසු කාණ්ඩයකට ඇතුළත්ව නොමැත. එංගලන්තය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරග වැදීමට සිදුව ඇති අතර, අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් දෙකක් පමණි.
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ ලැබූ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ඇති කරයි. නවසීලන්තයේදී පැවැති තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමත් කොදෙව් දූපත්හිදී 2-0 ක තරගාවලි ජයක් සහ බංග්ලාදේශයේදී 3-0 ක තරගාවලි ජයක් වාර්තා කිරීමත් එහිදී කැපී පෙනේ.
තවමත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිදු ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් වටයකට පිවිස නැත. එබැවින් මෙවර අභියෝගය වන්නේ හොඳ කණ්ඩායමක් ලෙස හැඳින්වීමෙන් ඔබ්බට ගොස් ලෝක ක්‍රිකට්හි ඉහළම මට්ටමේ කණ්ඩායම් අතර තම ස්ථානය තහවුරු කර ගැනීමයි.
තරගාවලියට පෙර වැඩිදුරටත් අදහස් දැක්වූ චමරි අතපත්තු පවසා සිටියේ අර්ධ අවසන් වටයට පිවිසීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක් වනු ඇති බවයි.
එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව සැමවිටම සංඛ්‍යා ලේඛනවලට පමණක් යටත් නොවේ. පසුගිය මාස කිහිපය තුළ පෙන්නුම් කළ වර්ධනය සහ සංචිතයේ පවතින සමතුලිතතාව සලකා බලන විට, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් බවට පත්ව ඇති බව නම් පැවැසිය හැක.
Photo Credit – Thepapare

