2026 ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වීමට නියමිතයි.අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 22 වෙනි වරටයි.
මෙම තරගාවලිය හොංකොංහි සත්කාරකත්වයෙන් කයි ටැක් යොවුන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
තරග ඉසව් 46ක් වෙනුවෙන් රටවල් 40කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 22ක් එක්ව සිටියි.
ඊට ක්‍රීඩකයන් 15ක් සහ ක්‍රීඩිකාවෝ හත්දෙනකු ඇතුළත්ව තිබේ.
අද ආරම්භ වන තරගාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5 දෙනකු තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.45ට මීටර් 400 පළමු වටයේ කාන්තා ඉසව්වෙන් රොනාලි ඈන් පීරිස් ශ්‍රී ලංකා නියෝජනය ආරම්භ කරන අතර, අනතුරුව පෙරවරු 8.10ට ඔමෙල් ශෂින්ත සහ සදෙව් රාජකරුණා මීටර් 400 පළමු වටයට එක් වෙනු ඇත.
පස්වරු 2.35ට විදුෂාන් රාජේන්ද්‍රන් මීටර් 3000 අවසන් තරගයට එක්වන අතර, 3.10ට ශවිඳු නිමාෂ සහ කල්පදිත් හංසජ මීටර් 400 කඩුලු පැනීමේ මූලික වටයට එක් වේ.පස්වරු 4.00ට මීටර් 1500 ඉසව්වෙන් නෙත්සර දිනෙත් තරග බිමට පිවිසෙන අතර, පස්වරුවේ පිරිමි මීටර් 400 අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිතයි.
අවසන් වරට 2024 වසරේදී පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වුණා.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම :
ක්‍රීඩකයින් – ඔමෙල් ශෂින්ත සිල්වා 200m, 400m,400m සහය), සදෙව් රාජකරුණා (200m, 400m,400m සහය), තිසෙන් රන්විදු පතිරගේ (400m සහය, මිශ්‍ර සහය), ඉරේෂ් බෝගොඩ (400m සහය, මිශ්‍ර සහය), ඉරෝෂ එදිරිසිංහ (400m සහය, මිශ්‍ර සහය), නෙත්සර දිනෙත් ලියනගේ (800m, 1500m), විදුෂාන් රාජේන්ද්‍රන් (3000m), කවීෂ කුලතුංග (110m කඩුලු), ශවිඳු නිමාෂ ඩයස් (400m කඩුලු), කල්පදිත් හංසජ උයන්වත්ත (400m කඩුලු), දීසර සෙන්දිල් හේරත් (දුර පැනීම), තරුෂ මෙන්ඩිස් (උස පැනීම), නේත්‍ර චන්දුප ප්‍රනාන්දු (උස පැනීම), තෙහාර රවිශ්ක ප්‍රනාන්දු (තුන් පිම්ම), සසිඳු හංසන ජයසිංහ (තුන් පිම්ම)
ක්‍රීඩිකාවන් – රිසන්සා හිරුපමා සිල්වා (200m), ඩිලන්මා රන්සිනි පෙරේරා (200m), තරුෂි අභිෂේකා (800m, 1500m, මිශ්‍ර සහය), මිහින්සා දෙව්මිණි අබේරත්න (උස පැනීම), ඔෂිනි කාවින්ද්‍යා කොඩිකාර (තුන් පිම්ම), රොනාලි ඈන් පීරිස් (400m, මිශ්‍ර සහය), වර්ෂා දෙව්මිණි විමලසේකර (මිශ්‍ර සහය).

