‘ඒ’ කණ්ඩායම් තරගවල වැඩිපුර ක්‍රීඩා කරන්න ලැබීම ඉදිරියට එන්න ඉන්න ක්‍රීඩකයින්ට ඇත්තටම වටිනවා. ජාත්‍යන්තර තරගවලට යනකොට ඒ අත්දැකීම ගන්න ළඟම මට්ටම තමයි ‘ඒ’ ටීම් ලෙවල් එක,” යැයි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ එක්දින නායක සහන් ආරච්චිගේ පවසයි.
නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය හෙට (05) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එම තරගාවලි ආරම්භයට පෙර ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වූ අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ‘ඒ‘ නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.
“ගොඩක් රටවල්වල ජාතික කණ්ඩායමට යන්න බලාපොරොත්තු වන ක්‍රීඩකයින් සෙල්ලම් කරන්නේ ‘ඒ’ ටීම් තරගයි. ඒකෙන් ජාත්‍යන්තර මට්ටමට සමාන හොඳ අත්දැකීමක් ලැබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ හා ජාතික අත්දැකීම් ඇති ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම නවකයින්ට වටිනා අවස්ථාවක් බවද ඔහු පැවසීය.
“අපේ කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වගේම දිගු කාලයක් ක්‍රීඩා කරපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එක්ක සෙල්ලම් කරන්න ලැබීම පාසල් මට්ටමේ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක්,” යැයි ඔහු කියා සිටියේය.
නවසීලන්ත ‘ඒ‘ එක්දින කණ්ඩායමේ නායකත්වය මැක්ස් ෂූ විසින් උසුලන අතර ශ්‍රී ලංකා සංචාරය යටතේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත්ව තිබීම කැපී පෙනෙයි. ඒ අතරින් හෙට ආරම්භ වන එක්දින කණ්ඩායම සඳහා අන්තර්ජාතික අත්දැකීම් ඇති ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්ව සිටින අතර මුහම්මද් අබ්බාස්, ආදිත්‍ය අශෝක්, ක්‍රිස්ටියන් ක්ලාර්ක්, මිිච් හේ, බෙන් ලිස්ටර්, රීස් මාරියු, බෙන් සීයර්ස් සහ ටිම් රොබින්සන් එම ලැයිස්තුවට අයත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.
මෙයින් අබ්බාස්, අශෝක්, ක්ලාර්ක් සහ සීයර්ස් ඉදිරියේදී නවසීලන්ත කණ්ඩායමට යෙදී ඇති බංග්ලාදේශ තරග සංචාරයේදී නවසීල්න්ත ජාතික එක්දින කණ්ඩායමට එක්වීමට නියමිත අතර, රොබින්සන් පළමු සිව්දින තරගයෙන් පසු නවසීලන්ත විස්සයි-20 කණ්ඩායමට එක්වීමට නියමිතය.
මෙම සංචාරය ගාල්ල හා හම්බන්තොට ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන අතර, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සහ තරග 2 කින් සමන්විත දින 4 තරගාවලියක් ඇතුළත් වේ.
මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය පිළිබඳවද අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එය තරග තත්ත්වයට යම් බලපෑමක් ඇති කළ හැකි බවයි.
“රස්නෙ නිසා තණතීරුව වේලෙන්න පුළුවන්. එහෙම වුණොත් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒවා කළමනාකරණය කරගන්න අපි සූදානම්,” යැයි ඔහු පැවසීය.
කණ්ඩායමේ සූදානම පිළිබඳවද ඔහු විශ්වාසය පළ කළේය.
“හොඳ ප්‍රැක්ටිස් සැසි දෙකක් කළා. ඒකට කලින්ත් පුහුණුවීම් කළා. මේ තරගාවලියට හොඳ සූදානමක් තියෙනවා,” යැයි සහන් ආරච්චිගේ වැඩිදුරටත් සඳහන් කළේය.
නවසීලන්ත ‘ඒ එක්දින කණ්ඩායම – මැක්ස් ෂූ (නායක), මුහම්මද් අබ්බාස්, ආදිත්‍ය අශෝක්, මැතිව් බොයිල්, ක්‍රිස්ටියන් ක්ලාක්, රෝහිත් ගුලාටි, මිච් හේ, කර්ටිස් හෙෆි, සයිමන් කීන්, බෙන් ලිස්ටර්, රයිස් මාරියු, ඩේල් පිලිප්ස්, ටිම් ප්‍රින්ගල්, ටිම් රොබින්සන්, බෙන් සියර්ස්.
ශ්‍රී ලංකා ‘ඒ‘ එක්දින කණ්ඩායම – සහන් ආරච්චිගේ (නායක), ප්‍රමෝද් මදුෂාන්, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, මොහොමඩ් ශිරාස්, ඩිල්ෂාන් මදුශංක, කවීජ ගමගේ, විග්නේෂ්වරන් ආකාෂ්, ට්‍රෙවීන් මැතිව්, වනුජ සහන්, ලසිත් කෘෘස්පුල්ලේ, රවිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, මිලාන් රත්නායක, සොනාල් දිනූෂ, කමිල් මිශාර.

