ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් (Rising Stars) ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අද (19) සමත් විය. දෝහාහි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21.4කදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා නායක පවන් රත්නායකගේ තීරණය නිවැරදි බව තහවුරු කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ප්‍රතිවාදී ඉනිම ලකුණු 139කට සීමා කළහ.
ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දර්විෂ් රසූලි පන්දු 89කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 80ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. කෙසේ වෙතත්, සෙසු පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබිණි.
එහිදී වමතින් දඟපන්දු යවන චාමික හීනටිගල විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 11කට කඩුලු 3ක් දවාගත්තේය. ඊට අමතරව නිපුන් ධනංජය, වනුජ සහන් සහ ජනිත ලියනගේ කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ගනිස්ථාන පිතිකරණ බලඇණිය අඩපණ කිරීමට දායක වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 48කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 40ක් රැස් කළේය. නිශාන් මධුෂ්ක ලකුණු 30ක් සහ සිනෙත් ජයවර්ධන ලකුණු 28ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළහ.
නායක පවන් රත්නායක නොදැවී ලකුණු 29ක් රැස් කරමින් ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 21.4කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගත්තේය.
ඇෆ්ගනිස්ථාන ‘ඒ’ – 139 (පන්දුවාර 35.3) – දර්විෂ් රසූලි 80, චාමික හීනටිගල 11/3, නිපුන් ධනංජය 10/2, වනුජ සහන් 28/2, ජනිත ලියනගේ 28/2
ශ්‍රී ලංකා ‘ඒ’ – 144/4 (පන්දුවාර 21.4) – ලසිත් කෲස්පුල්ලේ 40, නිශාන් මධුෂ්ක 30, පවන් රත්නායක නොදැවී 29, සිනෙත් ජයවර්ධන 28

