Clean Sri Lanka පාපැදි රැලිය – 2025

‘‘Clean Sri Lanka පාපැදි රැලිය – 2025’’ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව, අද (20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංවිධානයේ ප්‍රවීන පාපැදි ක්‍රීඩක, හිටපු පාපැදි සභාපති හා ජාත්‍යන්තර විනිසුරු එන්. කරුණාරත්න, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වත්මන් රජය මඟින් ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන හා එක්ව ක්‍රීඩා සතියට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් මෙම පාපැදි රැලිය ක්‍රියාත්මක කෙරේ.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ වැඩපිළිවෙළෙහි ‘ලස්සන ජීවිතයක්’ යන්න අර්ථවත් කිරීම උදෙසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීමේ අරමුණ ඇතිව, ලෝකයේ රටවල් 200ක පමණ ව්‍යාප්තව ඇති මෙම පාපැදි ධාවනය කෙරෙහි ලාංකීය ජනතාව තුළ උනන්දුව ඇති කිරීම හා මෙරට තුළ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි රැලිය – 2025, Clean Sri Lanka වැඩසටහන සමඟ එක්ව සංවිධානය කරනු ලබයි.

දකුණු ආසියානු මෙන්ම ආසියානු පාපැදි තරඟාවලදී රන් පදක්කම් දිනූ දක්ෂ පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අප සතුව සිටින බැවින්, යළිත් මෙරට පාපදි ධාවනය බලගන්වා මීට සමගාමීව අතරමග නැවතී ඇති ‘ගිරි තරණය, ලංකා සවාරිය හා ගාලු සවාරිය’ වැනි පාපැදි තරඟාවලි යළි පණගැන්වීමේ අරමුණ ද ඇතිව මෙම ‘‘Clean Sri Lanka පාපැදි රැලිය – 2025’’ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ‘‘Clean Sri Lanka පාපැදි රැලිය – 2025’’, 2025 ජූලි මස 26 වන දින කොළඹ 07, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භවීමට නියමිත අතර, වයස අවු 08 න් ඉහළ දේශීය/විදේශීය නිීරෝගි සම්පන්න අයෙක් වේ නම්, මේ සඳහා සහභාගී විය හැක. මෙම පාපැදි සවාරියේ උපරිම දුර කි.මී. 100 ක් වන අතර, කි.මී.50, කි.මී.25 කි.මී.10, සහ කි.මී.05ක දුරක් වුවද ධාවනයට එක්විය හැකියි.

2025.07.15 වන දිනට ප්‍රථම මෙම ‘‘Clean Sri Lanka පාපැදි රැලිය – 2025’’ සඳහා අයදුම් කළ යුතු අතර, මෙම පාපැදි රැලියට අදාළ කොන්දේසි උපදෙස් සහ අයදුම් පත්‍රය ද මේ සමඟ අමුණා ඇත.

එමෙන්ම නියමිත දිනට පෙර ලියාපදිංචි වී නියමිත ධාවන දුර අවසන් කරනු ලබන සෑම ධාවකයෙකුටම වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමේ.

වැඩිදුර විමසීම් සඳහා

Email – departmentofsportsdevelopment@gmail.com
WhatsApp – +940701247202
තැපෑල – ඩී.එම්.අනුර දිසානායක, ව්‍යාපෘති නිලධාරි, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07.

Back To Top