ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ඊයේ දින (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ජෙගතීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමා, ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමා සහභාගී විය.
මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, අතීතයේ දී දේශපාලකයන්ගේ වුවමනා නිසා ජාතීන්, ආගම් වශයෙන් බෙදා වෙන් කර ජනතාව පීඩාවට පත් කළ යුගය වර්තමාන රජය විසින් අවසන් කර ඇති බවයි.
වචන වලට පමණක් සීමා නොවන වචන යථාර්ථයක් බවට පත් කරන නව රජය යටතේ, උතුරු පළාතේ සංවර්ධනය කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවත්, යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සහ අද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පැවරෙන මෙම මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය එම වචන යාථාර්ථයක් බවට පත්වීමේ අවස්ථාවන් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
යාපනය, මන්නාරම යන දිස්ත්‍රික්ක කිලෝ මීටර වලින් දුර වුව ද මිනිස් හැඟීමෙන් එම දිස්ත්‍රික්ක දුර නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය. වත්මන් රජය පවතින තුරු මෙරට තුළ ආගම් හෝ ජාතීන් නිසා මිනිසුන් අතර ගැටීමක් හෝ බෙදීමක් සිදු වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.


