සිංහ ධේනූන්ගේ බංග්ලාදේශ ආක්‍රමණය සාර්ථකයි: 2-1ක් ලෙස එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.රාජ්ෂාහි පැවති තුන්වෙනි එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කළාය.

පළමු පන්දුවාර 25 තුළ ලකුණු 79කට කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සම්පූර්ණයෙන්ම බංග්ලාදේශ ඉනිම පාලනය කළහ.කෙසේවෙතත් දෙවෙනි පන්දුවාර 25ට ලකුණු 135ක් රැස් කරගනිමින් ලකුණු 213ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට බංග්ලාදේශ පිතිකාරිණියන් සමත්විය.බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ සෝභනා මොස්ට්‍රාරි ලකුණු 74ක් රැස් කරගත් අතර ඉනිමේ අවසන් පන්දුව තෙක් රැදී සිටිමින් බංග්ලාදේශ ඉනිම නිර්මාණය කිරීමට වැඩි දායකත්වය ලබා දුන්නාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබාගෙන සිටි චමරි අතපත්තු දවාගැනීමට මරූෆා අක්තර් සමත් වූවාය.කෙසේවෙතත් දෙවෙනි කඩුල්ලට ලකුණු 108 සබදතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමට සමත් වුණේ ඉමේෂා දුලානි සහ හසිනි පෙරේරා.ඉමේෂාගේ දැවී යාමෙන් පසු තුන්වන කඩුල්ලට ලකුණු 78ක සබදතාවයක් ගොඩ නැගූ හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රමගේ සබදතාවය අවසන් වූවේ ශතකය අභියසදී හසිනි පෙරේරා ලකුණු 95කට දැවී යාමෙන් පසුවය.

පන්දුවාර 46.3කදී ලකුණු 214ක් ලබාගනිමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර ද්වීපාර්ශ්වික එක්දින තරගාවලියක් බංග්ලාදේශයේදි පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.පළමු එක්දින තරගය තියුණු සටනකින් පසු පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි සහ තුන්වෙනි තරග ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය තහවුරු කරගත්හ.

ලකුණු විස්තරය

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 8කට ලකුණු 213යි.

සෝභනා මොස්ට්‍රාරි 74,සුල්තානා ජෝති 40,ශාර්මින් අක්තර් 25
කවීෂා දිල්හාරි 48/3,නිමාෂා මීපගේ 40/2,චමරි අතපත්තු 35/1,මල්කි මදාරා 48/1

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 46.3කදී කඩුලු 3කට ලකුණු 214යි.

හසිනි පෙරේරා 95,ඉමේෂා දුලානි 56,හර්ෂිතා සමරවික්‍රම නොදැවී 44
මරූෆා අක්තර් 49/2,සෝභනා මොස්ට්‍රාරි 12/1.

Back To Top