2035 වසර දක්වා ශ්‍රී ලංකාව කිසිදු ප්‍රධාන අයි.සී.සී. පිරිමි ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය නොදරන බවට මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්ථාවරය පැහැදිලි කර සිටියි.
2024 සිට 2031 දක්වා කාලසීමාවට අදාළ අයි.සී.සී. පිරිමි සීමිත පන්දුවාර තරගාවලි සඳහා සත්කාරකත්වය වෙන් කිරීම සම්බන්ධයෙන් වන තීරණ අයි.සී.සී.ය විසින් 2021 නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, 2026 අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව සමඟ සම සත්කාරකත්වය දරමින් සාර්ථකව පැවැත්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළේය.
එම නිවේදනයට අනුව, 2029 අයි.සී.සී. පිරිමි ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවටත්, 2031 අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ බංග්ලාදේශයටත් හිමිව තිබේ. එබැවින්, මෙම සත්කාරකත්ව සැලසුම් 2021 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ඒවා වන අතර, බාලිහිදී මෑතකදී පැවැති අයි.සී.සී. රැස්වීම්වලදී ගනු ලැබූ නව තීරණ නොවේ.
2026 නොවැම්බර් 15 වැනිදා නිකුත් කරන ලද අයි.සී.සී.යේ නවතම නිවේදනය මඟින් 2035 වසර දක්වා වන තරගාවලි දින දර්ශනය සහ තරගාවලි පැවැත්වෙන කාලසීමාවන් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, 2032 සිට 2035 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පිරිමි තරගාවලි සඳහා සත්කාරක රටවල් මෙතෙක් තහවුරු කර නොමැත.
ඒ අනුව, 2035 වසර දක්වා ශ්‍රී ලංකාව අයි.සී.සී. පිරිමි ක්‍රිකට් තරගාවලි පැවැත්වීමෙන් ඉවත් කර ඇති බවක් අයි.සී.සී.යේ නවතම නිවේදනයේ කිසිදු ආකාරයකින් සඳහන් නොවේ. තරගාවලි පැවැත්වෙන දින සහ කාලසීමාවන් තහවුරු කිරීම, එම කාලසීමාව සඳහා සත්කාරකත්වය වෙන් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවට අර්ථකථනය නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
එබැවින්, අයි.සී.සී.ය විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල නිවේදන නිවැරදිව පිළිබිඹු වන පරිදි අදාළ මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙසත්, මහජනතාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර නොමඟ යවන සුළු අදහසක් ඇතිවීම වළක්වා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියි.

