Colombo Marathon 5,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 13 වනදා ගාලු මුවදොර අසලින්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන කොළඹ මැරතන් (Colombo Marathon 2026) ජාත්‍යන්තර මැරතන් තරගාවලිය එළඹෙන 2026 සැප්තැම්බර් මස 13 වනදා කොළඹ ගාලු මුවදොර (Galle Face Green) පරිශ්‍රයේදී පැවැත්වේ.

මේ වන විටත් ප්‍රධාන තරග ඉසව් සඳහා 1,200කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටිති. ඒ අතරට පූර්ණ මැරතන් (Full Marathon – 42KM) ඉසව්වට 405ක්, අර්ධ මැරතන් (Half Marathon – 21KM) ඉසව්වට 398ක් සහ කිලෝමීටර් 10 (10KM) ඉසව්වට 389ක් ඇතුළත් වේ. ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට අමතරව කෙන්යාව, ඉතියෝපියාව ඇතුළු විදේශ රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය ධාවකයන් 130කට වැඩි පිරිසක් මෙවර තරගාවලියට එක්ව සිටිති. මීට අමතරව, කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run) සඳහා තරගකරුවන් 4,000කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත අතර, ඒ අනුව මුළු තරගකරුවන් සංඛ්‍යාව 5,000 ඉක්මවයි.

ධාවන මාර්ග සැලසුම (Route Plan)
පූර්ණ මාරතන් (42KM): ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය, මැරීන් ඩ්‍රයිව් (Marine Drive) ඔස්සේ දෙහිවල හන්දිය දක්වා ගොස් නැවත හැරී කොල්ලුපිටිය හන්දිය, පිත්තල හන්දිය, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොර වෙත පැමිණෙන වට 2කින් සමන්විත වේ.

අර්ධ මාරතන් (21KM): 42KM ධාවන මාර්ගයම අනුගමනය කරමින් 1 වටයකින් තරගය නිමවේ.

කිලෝමීටර් 10 (10KM) ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය, මැරීන් ඩ්‍රයිව් ඔස්සේ බම්බලපිටිය දක්වා ගොස් නැවත කොල්ලුපිටිය හන්දිය, පිත්තල හන්දිය, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොරට පැමිණේ.

කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run)
ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය ලිබර්ටි සිනමා හල අසලින් හැරී අරලියගහ මන්දිරය මැද පාර, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොරින් නිමාවේ.

නිල ධාවන අංක (BIB අංක) සහ ටී ශර්ට් ලබාදීමේ කාලසටහන
1. ප්‍රධාන තරග ඉසව් (42KM, 21KM සහ 10KM)

දිනය: 2026 සැප්තැම්බර් 12 වනදා

වේලාව: පෙ.ව. 10:00 සිට ප.ව. 03:00 දක්වා

ස්ථානය: රේස්කෝස් පිටිය (Racecourse Grounds), කොළඹ 07

2. කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run)

දිනය: 2026 සැප්තැම්බර් 13 වනදා (තරගය පැවැත්වෙන දින)

ලියාපදිංචිය හා BIB ලබාදීම: පෙ.ව. 04:00 සිට පෙ.ව. 05:30 දක්වා

ස්ථානය: ගාලු මුවදොර පිටිය (බාලදක්ෂ මාවත පිවිසුම), කොළඹ

අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු ලේඛන:
BIB අංක සහ කිට් ලබාගැනීම සඳහා සියලුම තරගකරුවන් ජාතික හැඳුනුම්පත (NIC), විදේශගමන් බලපත්‍රය (Passport) හෝ රියදුරු බලපත්‍රය සමඟ තරගයට පෙර සති 4ක් ඇතුළත ලබාගත් වෛද්‍ය සුදුසුකම් සහතිකයක් (Medical Fitness Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

Back To Top