ක්‍රිකට් තරුවක් බිහිවෙන්නේ සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවටම වෙන්වූ පාසලකින් නොවේ. දැවැන්ත ක්‍රීඩාංගණයක පුහුණුව ලබමින්, කුඩා වියේ සිටම පුහුණුකරුවන්ගේ ඇසට හසුවී ජාතික කණ්ඩායමට පැමිණීමද අනිවාර්ය නියමයක් නොවේ.සමහරවිට ඒ ගමන ආරම්භ වන්නේ ගමේ පුංචි පිට්ටනියකිනි.අයියලා සමඟ ක්‍රිකට් ගසන පුංචි දැරියකගෙනි.
ක්‍රිකට් බෝලයක් අතට ගැන්මට පෙර, මලල ක්‍රීඩා ඉසව්වක්, එහෙමත් නැත්නම් වොලිබෝලයක් අතට ගත් ක්‍රීඩිකාවකගෙනි. එසේත් නැත්නම්, ජීවිතය වෙනස් කළ එක් දුරකථන ඇමතුමකිනි.වාද්දුව, වස්කඩුවේ උපන් නිලක්ෂි ද සිල්වාගේ කතාව එවැනි කතාවකි.
නිලක්ෂි ද සිල්වාගේ ක්‍රිකට් ගමනද එවැනි එකකි. 1989 සැප්තැම්බර් 27 වැනිදා මෙලොව එළිය දුටු නිලක්ෂි, පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ පොහද්දරමුල්ල කනිෂ්ට විදුහලෙනි. හය වැනි වසරේදී ඇය පානදුර ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් වූවාය. කුඩා කල සිටම ක්‍රීඩාවට දක්වන ලද දක්ෂතාව නිසාම ඇයට හය වසරේ සිටම පානදුර ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත්වීමට වරම් ලැබිණ.එහෙත් එම පාසල් කාලයේදී නිලක්ෂිට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ පහසුකම් තිබුණේ නැත. පාසලේ ක්‍රිකට් කණ්ඩායමක්ද නොතිබිණි. ඒ නිසා ඇගේ ක්‍රිකට් අත්දැකීම් ආරම්භ වූයේ පාසල් පිටියකින් නොව, ගමේ කුඩා ක්‍රීඩා පිටියෙනි.
අයියලා සමඟ ක්‍රිකට් ගසමින් සිටි ඇයට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ආසාවක් ඇති වුවද, එය දිනෙක ජාතික කණ්ඩායම දක්වා ගෙන යා හැකි ක්‍රීඩා ජීවිතයක් වනු ඇතැයි ඇය එදා සිතන්නට නැත.ඇගේ පළමු තරගකාරී ක්‍රීඩා ගමනද ක්‍රිකට්වලින් ආරම්භ වූවක් නොවේ.ඒ මලල ක්‍රීඩාවෙනි. නැත්නම් වොලිබෝල් ක්‍රීඩාවෙනි.
දිස්ත්‍රික් මට්ටමින් වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදී ඇයගේ ක්‍රිකට් දක්ෂතාව පිළිබඳව දැනගත් රෝෂිනී පෙරේරා සහ නිමාල් පෙරේරා (නිමාලි යනු වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන්නීය) ඇයව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට මැදිහත් වූහ.
ඒ හරහා නිලක්ෂිගේ ජීවිතයට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පැමිණියේය. එය ඇගේ ක්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. 2010 වසරේදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට පැමිණෙන තුරු නිලක්ෂි ලෙදර් බෝලයකින් ක්‍රීඩා කර තිබුණේ නැත. ඒ වන තෙක් ඇය ලෙදර් පන්දුවක බර වත් නොදන්නීය.
“කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ආවහම තමයි මම පළමු වතාවට ලෙදර් බෝලයක් අතට ගත්තේ“ යැයි නිලක්ෂිකා සිනා සෙමින් කියන්නීය.
එම කාලයේ කෝල්ට්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියහ. එබැවින් නිලක්ෂිට මුලින්ම ක්‍රීඩා කිරීමට සිදුවූයේ ‘බී‘ කාණ්ඩයෙනි. එහෙත් ඇයගේ පන්දු රැකීම ඉක්මනින්ම කණ්ඩායමේ අවධානය දිනාගත්තේය.
ඇයට ලැබෙන සෑම අවස්ථාවකදීම උපරිමයෙන් ක්‍රීඩා කිරීම නිසා ඉහළ කණ්ඩායමට පැමිණීමට ඇයට අවස්ථාව ලැබිණි. එතැනින් ඇයගේ ගමන වේගවත් විය.
නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් ජීවිතය ගොඩනඟා ගැනීම එදා පහසු කටයුත්තක් නොවීය. ආර්ථික අභියෝගද තිබිණි. ඒ නිසා නිලක්ෂි ඇතුළු පිරිස රැකියාවක් සහ ස්ථාවර ආදායමක් බලාපොරොත්තුවෙන් යුද හමුදාවට එක්වීමට තීරණය කළහ. ඒ අනුව 2011 වසරේදී ඇය ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූවාය.
එදා ඇගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ රැකියාවකි. නමුත් යුද හමුදා කණ්ඩායම සමඟ දිගටම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබීමත් සමඟ ඇගේ ක්‍රීඩා ජීවිතයද තව තවත් ඉදිරියට ගියේය.
2012 වසරේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් නිලක්ෂි එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ක්‍රිකට් සංවර්ධන කණ්ඩායමට තේරී පත්වූවාය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 23කි. අවස්ථාව ලැබෙන සෑම තරගයකදීම ඇය ක්‍රීඩා කළාය. පිතිකරණයට පමණක් නොව, පන්දු රැකීමටද ඇය විශේෂ අවධානයක් යොමු කළාය.
එහිදී ඇයගේ මතකය ගිය එක් සිදුවීමක් වුණේ සංවර්ධනය කණ්ඩායම නියෝජනය කරමින් සිටින අතර තුර අවුරුදු 17 න් පහළ පිරිමි කණ්ඩායමක් සමග පැවැති තරගයක් වෙතය. “මට මතකයි ඒ මැච් එකේදී මම ‘රන් අවුට්‘ හතරක්ම ගත්තාය. මම හිතන විදියට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ එතැන“ යැයි නිලක්ෂි පවසන්නීය.
ඇය එසේ සඳහන් කරන ලද්දේ එම පන්දු රැකීම එවකට ජාතික කණ්ඩායමේ තේරීම් සඳහා සිටි කමිටුවේ අවධානයට ලක්වූ බැවිනි. එහි ප්‍රතිඵලය වූයේ එම වසරේදීම පැවැති විස්සයි-20 ලෝක කුසලාන ශ්‍රී ලංකා කාන්තා සංචිතයට ඇය තේරී පත්වීමය.
වස්කඩුවේ ගමේ පිට්ටනියක අයියලා සමඟ ක්‍රිකට් ගැසූ නිලක්ෂි, ලෝක කුසලාන කණ්ඩායමක සාමාජිකාවක් බවට පත්වන්නේ එලෙසිනි.
එහෙත් නිලක්ෂිගේ දෛවය ඊට හරස්විය. සංචිතයට තේරී පත් වුවද ඇයට එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන්නේ හදිසි අසනීප තත්ත්වයකට මුහුණදීමට සිදුවීම හේතුවෙනි. එහෙත් එය ඇගේ ගමනේ අවසානය නොවීය.
දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඇය 2013 වසරේදී නැවතත් විස්සයි-20 ජාතික කණ්ඩායමට තේරුණා පමණක් නොව එම වරම්ද දිනාගත්තාය. අනතුරුව 2015දී ඇය එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත්තාය.
එහෙත් 2017 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට ඇයට අවස්ථාව නොලැබිණි. එම අවස්ථාවෙන් පසුව ඇය සිය ක්‍රිකට් ගමනේ නව අත්දැකීම් සොයා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියාය. එහිදීද ක්‍රිකට් ක්‍රීඩාව අත්නොහැරි ඇය, තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කරමින් තම දක්ෂතා තවදුරටත් වර්ධනය කරගත්තාය.
කුඩා කාලයේ සිටම නොපසුබට උත්සාහය සහ පෙර සූදානම පිළිබඳව නිලක්ෂි වැඩි අවධානයක් ලබා දුන්නාය. එය ඇයගේ වචනවලින්ම නම් මෙසේය. ‘මම කොයි වැඩේ කරත් හරියට කරන්න උත්සාහ කරනවා. ඒක මම රනිං කරපු එකද, වොලිබෝල් ගහපු එකද නැත්නම් ක්‍රිකට් ගහපු එකද කියලා වෙනසක් නෑ. ඔස්ට්‍රේලියාවට ගියත් මම මගේ දේවල් නැවැත්තුවේ නෑ‘ යැයි නිලක්ෂි අවධාරණය කළාය.
සැබැවි. ඇයගේ එම නොපසුබට උත්සාහය නිසාම එහි ක්‍රීඩා කරන තරගාවලියේදී ඇය අර්ධ ශතක 5 ක් රැස් කිරීමට සමත්වූවාය. ඒ දක්ෂතා එවකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටි සාමාජිකයින්ගේ අවධානයට ලක්වූ බැවින් ඇයට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දොර විවෘත විය.
‘ඒ ආපු පළමු තරගාවලිය වුණේ පාකිස්තානයට එරෙහිව 2018 වසරේ පැවැති විස්සයි-20 තරගය. ඒකෙදි මම නොදැවී ලකුණු 46 ක් රැස් කළා. ඒ ආපු ඒම තමයි තවමත් මේ රැඳිලා ඉන්නේ“ යැයි නිලක්ෂි සිනහසුණු මුහුණින් සඳහන් කර සිටියාය.
එතැන් පටන් මේ දක්වා වූ වසර 8 කට ආසන්න කාලය තුළ ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියද ඇයගේ හිත තුළ වූ එක් බලාපොරොත්තුවක් ඉටුව නොතිබුණි. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අතරතුර සම්මානයක් ලබා ගැනීමය.
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 08 කට පමණ නිලක්ෂි සහභාගිව සිටියද ඒ එකම තරගාවලියකදී හෝ ඇය තරගයක දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයක් දිනා නොතිබිණ. මෙය ඇයගේ හිතේ කොයි මොහොතේත් වද දෙන සිදුවීමක් බවට පත්ව තිබූ බව සඳහන් කර සිටින්නේ නිලක්ෂිමය.
“ඇත්තම කිව්වොත් මම පුදුම ආසාවකින් තමයි ලෝක කුසලාන තරගාවලියක සම්මානයක් දිනා ගන්න තිබුණේ. ඒක මගේ තිබුණු තනිකරම හීනයක්“
තමන්ගේ අවස්ථාව ලැබෙන තුරු නිලක්ෂි බලා සිටියේ පුහුණුව සමඟය. කළින් සඳහන් කළ පරිදිම ක්‍රීඩාංගණයට මැද යාමට පෙර තමන්ගේ පුහුණුව නිවැරදිව සිදුකිරීම ඇයගේ පුරුද්දක් විය. ඒ සූදානමට අවසානයේ ප්‍රතිඵලයක් ලැබිණි. මෙවර ලෝක විස්සයි-20 තරගාවලියේ තීරණාත්මක අවස්ථාවකදී මැදට පැමිණි නිලක්ෂි ශ්‍රී ලංකා ඉනිම අවසානය දක්වා රැගෙන ගියාය.
පන්දු 37කදී නොදැවී ලකුණු 54ක්. හතරේ පහර පහක්. හයේ පහරක්. ප්‍රහාරක වේගය 145.94කි.
ඇයගේ එම ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් ඉකුත්වර විස්සයි-20 ලෝක ශූරියන් බවට පත්වූ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව, ජය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ශක්තිය ලැබිණ. එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද තේරී පත්වූවාය. වසර ගණනාවක් තිස්සේ බලා සිටි නිලක්ෂිගේ එම සිහිනය සැබෑ වන්නේ එලෙසිනි.
නිලක්ෂි ගිය වසරේදී තමන් සේවය කළ ශ්‍රී ලංකා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තාය. ඒ තීරණය පිටුපස තිබුණේ තවත් විශේෂ අදහසකි. තමන්ගේ උපන් ප්‍රදේශයට නැවත සමීප වෙමින්, පානදුර ක්‍රීඩා සමාජය සමඟ එක්ව තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමය. ජාතික කණ්ඩායම දක්වා ගිය ඇය, තමන්ගේ ක්‍රිකට් ගමනේ මුල් අඩිතාලම වැටුණු ගමට නැවත පැමිණියාය. එහිදී පානදුර ක්‍රීඩා සමාජයේ නායිකාව ලෙසින් ඇය නව ගමනක් ආරම්භ කළාය. එහි පළමු වෙඩි මුරයද ඇය පත්තු කළේ ශතකයකිනි.
මෙවර අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභිණිය බවට පත්වෙමින් නිලක්ෂි තමන්ගේ පැරණි ක්‍රීඩා සමාජය වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 90කදී නොදැවී ලකුණු 120ක් රැස් කළාය. හයේ පහර දෙකක් සහ හතරේ පහර 12ක් ඇතුළත් වූ එම ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 140ක දැවැන්ත ජයක් හිමිවිය.
ඒ අනුව නිලක්ෂි ද සිල්වාගේ කතාවෙන් ශ්‍රී ලංකාවේ තවත් බොහෝ ක්‍රීඩිකාවන්ට ගත හැකි පාඩමක් තිබේ. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස සිය ගමන ආරම්භ කළේ කුඩා වියේදී නොවේ. ලෙදර් පන්දුවක් අතට ගත්තේ වයස අවුරුදු 20 පසුවය. ජාතික කණ්ඩායමට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 23කි.
ඒ වන විටත් තවත් බොහෝ ක්‍රීඩිකාවන් ඇයට වඩා වසර ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩා කර තිබිණි. එහෙත් ඇය තමන්ට ලැබුණු අවස්ථාව අතහැරියේ නැත. එක් එක් තරගයෙන් තමන්ගේ වටිනාකම ඔප්පු කළාය. අහිමි වූ අවස්ථාවලදී නැවත පැමිණියාය. කණ්ඩායමෙන් ඉවත්ව සිටි අවස්ථාවලදී නැවතත් තම ස්ථානය සොයාගත්තාය. ඒ නිසා අද ඇය ලෝක විස්සයි-20 වේදිකාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තීරණාත්මක ඉනිම් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවකි.
වස්කඩුවේ පුංචි පිට්ටනියක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඒ දැරිය අද ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ජයග්‍රහණ වෙනුවෙන් දායක වන ක්‍රීඩිකාවකි. ඒ ගමනේ වටිනාකම ඇත්තේ ඇය ලබාගත් ලකුණු 54 තුළ පමණක් නොවේ. ලෙදර් පන්දුවක් අත නොගත් තැනකින් පටන්ගෙන, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමන්ගේ නම සටහන් කරගත් ගමන තුළය. නිලක්ෂි ද සිල්වාගේ කතාව එලෙසය.ප්‍රමාද වී ආරම්භ කළත්, කැපවීමෙන් සහ විශ්වාසයෙන් ඉදිරියට ගියහොත් ලෝකය ජයගත හැකි බව කියන කතාවකි.

