ආසියානු කුසලානය රැකගැනීමේ මෙහෙයුමට චමරිගේ කණ්ඩායම සූදානම්

2024 වසරේ දිනාගත් කාන්තා ආසියානු කුසලාන ශූරතාව තවදුරටත් තමන් සතුව රඳවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2026 කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටී.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වන අතර, පාකිස්තානයට එරෙහිව මෑතකදී පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා නම් කර තිබූ සංචිතයේ සිටි නිමාෂා මීපගේ, මල්කි මදාරා සහ රශ්මිකා සෙව්වන්දි මෙවර සංචිතයට ඇතුළත් කර නොමැත.

ඒ වෙනුවට දෙව්මි විහංගා, මිතලි අයෝද්‍යා සහ චේතනා විමුක්ති යන ක්‍රීඩිකාවන් තිදෙනා මෙවර ආසියානු කුසලාන සංචිතයට අලුතින් එක්ව සිටීම විශේෂත්වයකි.

2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් අටක් මෙවර ශූරතාව සඳහා තරග වදිති.

2024 වසරේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ශූරතාව දිනාගත් බැවින්, මෙවර තරගාවලියේදී එම ශූරතාව ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

මෙවර තරගාවලිය ආසියානු කුසලාන ඉතිහාසයේ 10 වැනි අදියර වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු වරට මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදීමද විශේෂත්වයකි. එමෙන්ම ඉන්දුනීසියාව පළමු වරට කාන්තා ආසියානු කුසලාන තරගාවලියකට එක්වීමද මෙවර දක්නට ලැබේ.

ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, එහි සෙසු කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාවයි. A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං තරගවදිනු ඇත.

කණ්ඩායම් අට කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයට අගෝස්තු 29 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව මුහුණ දෙන අතර, දෙවැනි තරගය සැප්තැම්බර් 2 වැනිදා ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වේ. මූලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සැප්තැම්බර් 6 වැනිදා බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිතය.

කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ඉන්දියාව මෙතෙක් පැවැති තරගාවලි නවයෙන් හතකම ශූරතාව දිනාගෙන තිබේ.

2004 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු අදියර හතර එක්දින තරග ආකෘතිය යටතේ පැවැති අතර, 2012 වසරේ සිට එය විස්සයි-20 ආකෘතියට පරිවර්තනය විය.

ඉන්දියාව පළමු තරගාවලි හයම ජයගනිමින් ආසියානු කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිය ආධිපත්‍යය තහවුරු කර තිබූ අතර, 2018 වසරේදී බංග්ලාදේශය එම අඛණ්ඩ ශූරතා ගමන අවසන් කළේය. ඉන්දියාව 2022 වසරේදී යළිත් ශූරතාව දිනාගත්තද, 2024 අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්විය.

අවසන් පූර්ව තරග සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය:

චමරි අතපත්තු (නායිකා), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා), කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, මිතලි අයෝද්‍යා, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති, දෙව්මි විහංගා, කෞෂානි නුත්‍යාංගනා සහ කාව්‍යා කාවින්දි.

ශ්‍රී ලංකාවේ මූලික වටයේ තරග කාලසටහන

අගෝස්තු 29 – ශ්‍රී ලංකාව vs එක්සත් අරාබි එමීර් රාජ්‍යය
සැප්තැම්බර් 2 – ශ්‍රී ලංකාව vs ඉන්දුනීසියාව
සැප්තැම්බර් 6 – ශ්‍රී ලංකාව vs බංග්ලාදේශය

Back To Top