ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිත්‍ය පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් නොවන අතර, ඔවුන් වෙනුවට නිශාන් මධුෂ්ක සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවා ඇත.
මැණික්කටුවේ ඇති වූ ආබාධයක් සඳහා ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අනතුරුව තවදුරටත් සුවය ලබමින් සිටින පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් තරගය අහිමි වන අතර, ඉන්දියාවට එරෙහිව මෑතකදී පැවැති පුහුණු තරගයේදී ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැස් කරමින් කැපී පෙනුණු නිශාන් මධුෂ්ක ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් කර තිබේ.
මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දකුණු පාදයේ කලවා පිටුපස ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් ද පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවේ. ඔහු වෙනුවට අත්දැකීම් බහුල කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.
දික්වැල්ල අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ නවසීලන්තයට එරෙහිව වන අතර, වසර කිහිපයකට පසුව ඔහු නැවතත් ජාතික ටෙස්ට් කණ්ඩායමට එක්ව සිටී.
මේ අතර, 25 හැවිරිදි දකුණත් පිට දඟ පන්දු යවන කේෂර නුවන්ත පළමු වරට ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි නුවන්ත, ඉන්දියාවට එරෙහිව කොළඹ එන්.සී.සී. පිටියේ පැවැති පුහුණු තරගයට ද ක්‍රීඩා කළ අතර, පසුගිය කාලය පුරා දැක්වූ දස්කම් හේතුවෙන් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ. පළමු පෙළ තරග 15කට ක්‍රීඩා කර ඇති නුවන්තා එහිදී කඩුලු 64ක් දවාගෙන ඇති අතර, ඔහුගේ පළමු පෙළ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 22.12ක් වේ.
ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ද වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර තිබූ ඉසිත විජේසුන්දර සහ කසුන් රාජිත මෙවර සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඔවුන් වෙනුවට දිල්ෂාන් මධුෂංක සහ මිලාන් රත්නායක කැඳවා තිබේ.
වමත් වේග පන්දු යවන දිල්ෂාන් මධුෂංක 2023 වසරේ පාකිස්තානයට එරෙහිව සිය එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නැවතත් ටෙස්ට් සංචිතයට පැමිණ සිටී. ඔහුගේ ඇතුළත් වීම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට අමතර වේගයක්, විවිධත්වයක් මෙන්ම වමත් වේග පන්දු යවන්නෙකුගේ විකල්පයද ලබා දෙයි.
ඉන්දියාවට එරෙහි මෙම ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර, එය 2025–2027 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයට අයත් වේ.
පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය
- ධනංජය ද සිල්වා – නායක
- කමිඳු මෙන්ඩිස් – උපනායක
- ලහිරු උදාර
- නිශාන් මධුෂ්ක
- දිනේෂ් චන්දිමාල්
- පසිඳු සූරියබණ්ඩාර
- සොනාල් දිනූෂ
- නිරෝෂන් දික්වැල්ල
- රමේෂ් මෙන්ඩිස්
- ප්‍රභාත් ජයසූරිය
- කේෂර නුවන්තා
- මිලාන් රත්නායක
- අසිත ප්‍රනාන්දු
- ලහිරු කුමාර
- විශ්ව ප්‍රනාන්දු
- දිල්ෂාන් මධුෂංක

