දෙවැනි ටෙස්ට් තරගයට ප්‍රභාත් ජයසූරියව කැඳවයි…!

පාකිස්තානය සමඟ පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියේ වෙනස්කම් කිහිපයක් සිදුවීමේ ඉඩකඩක් පවතී. රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ දෙවැනි තරගයේදී කණ්ඩායම් දෙකම ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසීමට සූදානමින් සිටියි.

පළමු තරගයේ අවසන් දිනයේදී පාකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. විශේෂයෙන් අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය කඩුලු දවා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුවද, සෞද් ශකීල් ප්‍රමුඛ පාකිස්තාන පිතිකරුවෝ එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්හ.

කෙසේ වෙතත්, තරගයේ සිව්වැනි දිනයේදී සකීබ් ඛාන් කඩුලු හතක් දවාගනිමින් පාකිස්තානය වෙනුවෙන් දැක්වූ දක්ෂතාව කැපී පෙනුණි. එමෙන්ම පළමු ඉනිමේදී පාකිස්තාන මුල් පිතිකරුවන් පස්දෙනාගෙන් සිව්දෙනකුම අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයේ සැලකිය යුතු ක්‍රීඩා කාලයක් අහිමි නොවූයේ නම් දෙපිල අතර තියුණු අවසානයක් දැකගැනීමට අවස්ථාව තිබිණි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුව ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 20ක් දවා ගැනීමයි. පළමු තරගයේදී වේග පන්දු යවන්නන් තිදෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක සමඟින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු දිනයේදී නිසි පාලනයකින් යුතුව පන්දු යැවීමට නොහැකි විය. එහෙත් තරගයේ ඉදිරි දිනවලදී පන්දු යැවීමේ දක්ෂතා ඉහළ නංවා ගැනීමට ඔවුහු සමත් වූහ.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු දෙවැනි තරගයේදී ද විශේෂ අවධානයට ලක්වනු ඇත. පළමු තරගයේදී කඩුලු පහක් දවාගත් අසිත සිය ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා යමින් එම කඩඉම පසු කළ ශ්‍රී ලංකාවේ හයවැනි වේග පන්දු යවන්නා බවට පත්විය. 2026 වසරේදී කඩුල්ලක් දවා ගැනීම සඳහා ලකුණු 24.95ක සාමාන්‍යයක් පවත්වාගෙන සිටින ඔහු ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ ප්‍රධානතම බලාපොරොත්තුවක් බවට පත්ව සිටී.
පාකිස්තාන පිතිකරු සල්මන් අගා ද දෙවැනි තරගයේදී අවධානය දිනාගනු ඇත. පළමු ටෙස්ට් තරගයේදී අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 47.57ක ඉහළ පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගෙන යයි. එය ඔහු ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වාර්තා කර ඇති ඉහළම පිතිකරණ සාමාන්‍යය වන අතර, මෙම තරගයේදී යළිත් ලකුණු අතරට පැමිණීමට ඔහු උත්සාහ කරනු ඇත.

දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය කැඳවීමේ ඉඩකඩක් පවතී. ඒ සඳහා තණතීරුවේ ස්වභාවය තීරණාත්මක වන අතර, එවැනි වෙනසක් සිදු වුවහොත් ළහිරු කුමාර හෝ දිල්ෂාන් මධුශංක යන ක්‍රීඩකයන්ගෙන් අයකුට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය හැකිය.
මේ අතර, පාකිස්තානය වෙනුවෙන් අලි ෂබීර්ට ටෙස්ට් වරම් හිමිවීමේ ඉඩකඩක් ද පවතී. එය සිදුවුවහොත් මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකර ගන්නා පස්වැනි පාකිස්තාන ක්‍රීඩකයා ඔහු වනු ඇත.

පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරග හයෙන් හතරක් ජය ගැනීමට පාකිස්තානය සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. එමෙන්ම රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැති අවසන් ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

පළමු තරගයේදී දෙපිලම සිය දක්ෂතා ප්‍රදර්ශනය කළ පසුබිමක, දෙවැනි තරගයේදී පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර ගනිමින් ජයග්‍රහණයක් කරා යෑම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වනු ඇත.

Back To Top