ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතව සුපිරි හයදෙනාගේ වටයට

අයි.සී.සී. කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ සිව්වැනි තරගයෙන් ද විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට අද (16) සමත් වූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව අජ්මාන්හි සෙවන් ඩිස්ට්‍රික්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 106ක් පමණි. ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ පිතිකරණය පාලනය කිරීමට කවීෂා දිල්හාරි සහ නිමාෂා මීපගේ සමත් වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර, නිමාෂා මීපගේ ලකුණු 20කට කඩුලු 2ක් බිඳ හෙළුවාය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල වෙනුවෙන් එෂා ඕසා ලකුණු 42ක් සහ තීර්තා සතිෂ් ලකුණු 40ක් රැස් කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.
ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ විස්මි ගුණරත්න පන්දු 45කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 63ක් රැස් කළාය. ඇයට අනගි සහායක් ලබාදුන් කෞෂිනි නුත්‍යාංගනා ලකුණු 25ක් රැස් කළාය.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග හතරම ජයගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි හයදෙනාගේ වටයට පිවිසීමට සමත් වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 106/8 (පන්දුවාර 20) – එෂා ඕසා 42, තීර්තා සතිෂ් 40, කවීෂා දිල්හාරි 22/3, නිමාෂා මීපගේ 20/2.

ශ්‍රී ලංකාව – 107/5 (පන්දුවාර 15) – විශ්මි ගුණරත්න නොදැවී 63, කෞෂිනි නුත්‍යාංගනා 25.

Back To Top