ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස් කරමින් දිනයේ එකම ශතකලාභියා බවට පත්විය.
කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද නිකිල් අභිලාෂ් නම් කෙරිණි. ඔහුගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 7ක් දැවී ලකුණු 310ක් රැස් කළ අතර, අවසානයේ ලකුණු 51ක ජයක් වාර්තා කිරීමට ද සමත් විය.
අභිලාෂ් සිය ලකුණු 107 රැස් කළේ පන්දු 101කින් වන අතර, එයට හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.
අද පැවැති තරග කිහිපයකටම වර්ෂාව සහ අයහපත් කාලගුණය බලපෑ අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් පහකට ජය හිමි වූයේ ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුවය. අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය සහ සරසන්ස් ක්‍රීඩා සමාජය අතර අඹේපුස්සේදී ආරම්භ වූ තරගය පන්දුවාර 4කට පමණක් සීමා වී තීරණයකින් තොරව අවසන් විය.
මෙදින ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් වූයේ සඳලංකා ක්‍රීඩා සමාජය, මහනුවර තරුණ ක්‍රිකට් සමාජය, මහනුවර ක්‍රීඩා සමාජය, අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජයයි.
සාලියපුර ගජබා ක්‍රීඩාංගණයේ පැවැති සඳලංකා ක්‍රීඩා සමාජය සහ කළුතර නගර ක්‍රීඩා සමාජය අතර තරගය පන්දුවාර 22කට සීමා විය. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සඳලංකා ක්‍රීඩා සමාජය වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 22 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් රැස් කළේය.
මෙහිදී චතුමල් දිනේෂ් පන්දු 58කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 70ක් රැස් කළ අතර, රිෂ්ම අබේසිංහ ලකුණු 50ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 9ක් තුළ ලකුණු 85ක සබඳතාවක් ගොඩනඟා ගැනීමට සමත් වූහ.
ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය කළුතර නගර ක්‍රීඩා සමාජය ද ප්‍රබල පිතිහරඹයක නිරත වූ අතර, පන්දුවාර 21.2කදී ලකුණු 165කට සියලුදෙනා දැවී ගියේ ජයග්‍රහණයට ඉතා ආසන්නයේදීය.
මෙම තරගයේදී තුන් ඉරියව් දක්ෂතා දැක්වූ දහම් විමුක්ති, ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත් අතර, පන්දුවට පහරදීමේදී පන්දු 38කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 42ක් රැස් කළේය.
මොනරාගල වෙල්ලස්ස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඳුකර ක්‍රීඩා සමාජය කඩුලු 2කින් පරාජය කළේය. එහිදී රන්දික මිහිරංග ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් කඳුකර ක්‍රීඩා සමාජයේ ඉනිම ලකුණු 112කට සීමා කළේය.
අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ පැතුම් බොතේජු නැවතත් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 38ක් රැස් කර තම කණ්ඩායමේ ජයග්‍රහණයට මූලිකත්වය ලබා දුන්නේය.
ලකුණු විස්තරය
- සඳලංකා ක්‍රිකට් සමාජය – කළුතර නගර සමාජය – සාලියපුර ගජබා ක්‍රීඩාංගණයේ දී
සඳලංකා ක්‍රීඩා සමාජය ලකුණු 6කින් ජය ගනී
සඳලංකා ක්‍රිකට් සමාජය පන්දුවාර 22ක දී කඩුලු 6ක් දැවී ලකුණු 171 – චතුමල් නිමේෂ් 70, රිෂ්ම අමරසිංහ 50, බිනර සන්කෙත් 28, දහම් විමුක්ති 30/3
කළුතර නගර සමාජය පන්දුවාර 21.2ක දී සියල්ල දැවී ලකුණු 165 – තරුෂ රණසිංහ 51, දහම් විමුක්ති 42, දිනෝෂ් ජෙලන් 21, සුනිල්ක රණසිංහ 21/2, චනුර ප්‍රනාන්දු 37/2
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – චතුමල් නිමේෂ් – සඳලංකා ක්‍රීඩා සමාජය)
- මහනුවර තරුණ ක්‍රිකට් සමාජය – හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී
මහනුවර තරුණ ක්‍රිකට් සමාජය ලකුණු 2කින් ජය ගනී
මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 28ක දී කඩුලු 6ක් දැවී ලකුණු 163 – චතුර කුමාරසිරි 43, ජානුක රත්නායක 42, චාරුක අයේෂ් 32, දිමන්ත අරෝෂ 10/2, මනාන් මුසම්මිල් 21/2
හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පන්දුවාර 20.1ක දී කඩුලු 4ක් දැවී ලකුණු 124 – උදිත් ප්‍රනාන්දු 79, බුද්ධිම සහන් නොදැවී 36, මධුෂාන් බොතොටගේ 23/2
(තරගයෙන් ජය ගැනීමට හෙට්ටිපොළ ක්‍රීඩා සමාජයට පන්දුවාර 20.1ක දී ලකුණු 126ක් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අවශ්‍ය විණි)
- මහනුවර ක්‍රිකට් සමාජය – යුනිචෙලා ක්‍රීඩා සමාජය – අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී
මහනුවර ක්‍රිකට් සමාජය ලකුණු 4කින් ජය ගනී
මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 31ක දී කඩුලු 9ක් දැවී ලකුණු 167 – දිමන්ත මහවිතාරණ 34, කෞෂික කුමාරසිංහ 30, තිසරු දිල්ෂාන් 25, සෙත්මික සෙනෙවිරත්න 24, පූර්ණ සුලක්ෂණ 21/3, ධනුෂ්ක උදාර 34/3, වනුද් මධුෂාන් 27/2
යුනිචෙලා ක්‍රිකට් සමාජය පන්දුවාර 21ක දී කඩුලු 8ක් දැවී ලකුණු 122 – සසරි අධිකාරි 38, සනුක චෙරාන් 27, අභිෂේක් පෙරේරා 21, මෙදුනක විජේතිලක 44/3, තිසරු දිල්ෂාන් 27/2, සෙත්මික සෙනෙවිරත්න 28/2
(යුනිචෙලා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට පන්දුවාර 21ක දී ලකුණු 126ක ඉලක්කයක් ලැබිණි)
- කඳුකර ක්‍රිකට් සමාජය – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය – මොනරාගල වෙල්ලස්ස ක්‍රීඩාංගණයේ දී
අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඩුලු 2කින් ජය ගනී
කඳුකර ක්‍රිකට් සමාජය පන්දුවාර 30.2ක දී සියල්ල දැවී ලකුණු 112 – චේතික දෙනුවන් 27, නුවන් මෙන්ඩිස් 24, රන්දික මිහිරංග 21/4, ලෂ්මික පෙරේරා 27/3, දසුන් චමෝද් 5/2
අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 30.1ක දී කඩුලු 8ක් දැවී ලකුණු 114 – පැතුම් බොතේජු නොදැවී 38, ඇසදිසි ද සිල්වා 37, සුදේශ් ඉඳුනිල් 29/3, නිශාන් සමරක්කොඩි 25/2, චේතක දෙනුවන් 37/2
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – රන්දික මිහිරංග – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය)
- ඕල්ඩ් සහිරියන්ස් ක්‍රිකට් සමාජය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කටුගස්තොට ශාන්ත අන්තෝන් ක්‍රීඩාංගණයේ දී
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 7කින් ජය ගනී
ඕල්ඩ් සහිරියන්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 31ක දී සියල්ල දැවී ලකුණු 88 – ෆයිස් අහමඩ් 18, සිසල් හේමක 13, නිලංක ප්‍රේමරත්න 24/4, ගයාන් සිරිසෝම 20/3, ශවීන් පෙරේරා 8/2, ලසඳ රුක්මල් 10/1
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 11.1ක දී කඩුලු 3ක් දැවී ලකුණු 89 – ශවීන් පෙරේරා නොදැවී 53, ලෙෂ්ටර් ජයවීර 27, ෂෙරීෆ් ඉරුඩීන් 9/1, කෙනුල පිහිලියංග 12/1
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ශවීන් පෙරේරා – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
- ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය – ලන්කන් ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී
ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 51කින් ජය ගනී
ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 49ක දී කඩුලු7ක් දැවී ලකුණු 310 – නිකිල් අභිලාෂ් 107, විරංග යෙෂාන් 53, තරිඳු ලක්ෂාන් 51, තරිඳු මධුශංක 39, අෂාන් උදාර 25, පැතුම් සමිඳු 22/2
ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 44.1ක දී සියල්ල දැවී ලකුණු 259 – සහන් කෞෂල්‍ය 72, කළණ මධුශංක 44, තෙවින් අමරසිංහ 42, හිම්සර රන්දෙණි 29, ගැවින් බොතේජු 22, යශෝද් කවිඳු 36/3
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – නිකිල් අභිලාෂ් – ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය)
- අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය – සරසන්ස් ක්‍රීඩා සමාජය – අඹේපුස්සේ දී
(වර්ෂාව මත විසඳුමකින් තොරව තරගය නිම විය)
අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 4ක දී කඩුලු 2ක් දැවී ලකුණු 35- ළහිරු ධනංජය 17, ධනුෂ්ක මධුශංක 12/2

