ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් මිෂන් ඔලිම්පික් වැඩසටහනට ඇතුළත් කෙරේ.

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ “මිෂන් ඔලිම්පික්” වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.

පසුගිය වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර රග්බි පිටියේ දක්වන ලද සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ‘3වන කාණ්ඩයේ’ සංචිතය සඳහා අලුතින්ම තේරී පත් වූ දක්ෂ තරුණ ක්‍රීඩකයින් වෙනුවෙන් “මිෂන් ඔලිම්පික්” (Mission Olympic) වැඩසටහන ප්‍රධානය කිරීම සහ ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම මෙහිදී සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනකු සඳහා මාසිකව රුපියල් 135,000ක දීමනාවක් හිමිවේ. එමෙන්ම Casa 7 රග්බි තරගාවලියේ ශුරතාවය දිනූ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සඳහා දිරි දීමනා ලෙස 180,000ක දීමනාවක් ලබාදීම ද සිදු කෙරුණි. එම දීමනාව ලබාදීම එක් වරක් පමණක් ලබාදෙන දීමනාවක් ලෙස ලබාදුනි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේදී එම දීමනා ප්‍රධානය කිරීම සිදුකෙරුණි.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ , විශාල අරගලයක් සිදුකිරීමෙන් පසුව රගර් සංගමය නැවත පිහිටුවා, රගර් ක්‍රීඩාව අද පවතින තත්ත්වයට රැගෙන ආ බවයි.

තමන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වන විට රගර් ක්‍රීඩාව පැවතියේ දුක්ඛිත තත්ත්වයක බවත්, පැවති නඩු විසඳා ගනිමින්, රග්බි සම්මේලනය තමන් යටතේ පවත්වා ගනිමින් හා රග්බි සම්මේලනයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් පසු, විධිමත් නිලවරණයක් පවත්වා නව නිලධාරින් පත්කිරීමෙන් අනතුරුව රගර් ක්‍රීඩාව පවතින තත්ත්වයට ගෙනා බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ආසියාවේ තුන්වන ස්ථානයට පත්ව සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මළල ක්‍රීඩකයන් සඳහා වෙන් වූ මිෂන් වලින් පික් වැඩසටහනට ප්‍රථම වතාවට කණ්ඩායමක් ලෙස එකතු වන්නේ රගර් ක්‍රීඩකයින් බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර දක්ෂතා දක්වන තවත් කණ්ඩායම් ක්‍රීඩා ඊට එකතු කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමට අපේක්‍ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යාංශය ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම වෙනුවෙන් හා ඔවුන්ට වෘත්තීමය භාවයක් ඇති කිරීම වෙනුවෙන් උපරිම දායකත්වයක් දක්වා ඇති බවත් , ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ වගකීම වනුයේ එම අවස්ථා නිසි පරිදි යොදා ගනිමින් ක්‍රීඩාව කෙරෙහි තමන්ගේ උපරිම කැපවීම ලබාදීම බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. e

ජයග්‍රහණය වෙනුවෙන් පමණක් තරග කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ක්‍රීඩා සංස්කෘතියක් තුළ අත්දැකීම් ලබාගනිමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීම ප්‍රතිපත්තිය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රජයේ රැකියා අවස්ථා ලබා දීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවත්, මේ වනවිට ඊට අදාළ කටයුතු සිදුකිරීමෙන් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයි. පී විජේරත්න මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා සහ රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ.

Back To Top