සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ අර්ධ ශතක 4ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භක දිනයේ තරග දෙකකදී අර්ධ ශතක 4ක් වාර්තා විය.

ගාල්ල පළාත් පිලේ ඔෂධ ප්‍රනාන්දු ලකුණු 84ක්, දඹුල්ල පිලේ නිශාන් මධුෂ්ක ලකුණු 97ක්, තනුක දාබරේ ලකුණු 56ක් හා අංජල බණ්ඩාර නොදැවී ලකුණු 53ක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

ගාල්ල, මහනුවර, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ගාල්ල – මහනුවර හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දඹුල්ල – කොළඹ තරග ආරම්භ විය.

ගාල්ල – මහනුවර

ගාල්ල පළාත් පිලේ නායක පසිඳු සූරියබන්ඩාර කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ හෙයින් එම පිල පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 179ක් රැස් කිරීමට සමත් වූවේය. තෙවැනි කඩුල්ලට පසිඳු සූරියබණ්ඩාර හා ඔෂධ ප්‍රනාන්දු පන්දු 120කදී ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගූ අතර, මහනුවර පිලේ දුලාජ් සමුදිත හා චාමික ගුණසේකර කඩුලු 3 බැගින් බිද හෙළූහ.

ගාල්ල පළාත් පිල පළමු ඉනිම ඕවර් 54කදී කඩුලු 7ක් දැවී ලකුණු 179
ඔෂධ ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, ඉසිත් දේව් විජේසුන්දර නොදැවී 15 (දුලාජ් සමුදිත 45/3, චාමික ගුණසේකර 17/3)

දඹුල්ල – කොළඹ

කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ නායක ධනංජය ද සිල්වා මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට පළමු දිනය නිමාවෙද්දී කඩුලු 6කට ලකුණු 280ක් වාර්තා කළේය. මෙහිදී අර්ධ ශතක සබඳතා දෙකක් ගොඩනැගුණු අතර, පළමු කඩුල්ලට නිශාන් මධුෂ්ක හා තනුක දාබරේ එක්ව පන්දු 95කදී ලකුණු 82ක් හා පස්වැනි කඩුල්ලට අංජල බන්ඩාර හා නිශාන් මධුෂ්ක එක්ව පන්දු 122කදී ලකුණු 51ක් රැස් කළහ.

දඹුල්ල පළාත් පිල පළමු ඉනිම ඕවර් 81කදී කඩුලු 6ක් දැවී ලකුණු 280
නිශාන් මධුෂ්ක 97, තනුක දාබරේ 56, කවීන් බණ්ඩාර 25, අංජල බණ්ඩාර නොදැවී 53, චමිඳු වික්‍රමසිංහ 15 (ප්‍රභාත් ජයසූරිය 89/3)

Back To Top