ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතුවූ වසර 25ක් ඉපැරැණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් බිදවැටෙයි

කාන්තා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වන්නට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය ලකුණු 347කින් ජයග්‍රහණය කරමින්.

මෙම තරගයේ පළමු ඉනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් රැස්කළ ලකුණු 428ට පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනීමේදී රැස්කළේ ලකුණු 136ක් පමණි. ඉන්දීය කණ්ඩායම දෙවන ඉනීමට කඩුලු 6ක් දැවී ලකුණු 186ක් රැස්කොට තිබියදී සිය ඉනීම අත්හිටුවීමට තීරණය කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 479ක ඉලක්කයක් ලබාදෙමින්. නමුත් එංගලන්තයට දෙවන ඉනීමේදීද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131ක් පමණි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 347ක වාර්තාගත ජයග්‍රහණයක් ලබන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය. මින් පෙර කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරගයක් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කොට තිබුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. 1998 වසරේ පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති ටෙස්ට් තරගය ලකුණු 309කින් ජයග්‍රහණය කරමින් එම වාර්තාව පිහිටුවීමට එදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු හා එකම ටෙස්ට් තරගය බවට ද පත් විය. ඒ අනුව අදින් වසර 25කට ඉහත පටන් ශ්‍රී ලංකා කාන්තා පිළ ඉදිරියේ ලියවුණු වාර්තාව මෙලෙසින් ඉන්දීය ක්‍රීඩිකාවන්ට උරුම විය.

Back To Top