ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු පතිරත්නගේ දක්ෂතා ඉස්මතු වෙමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුදුසු ක්‍රීඩකයින් තෝරාගැනීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන NSL තරගාවලිය, කවිඳුට තම හැකියාව රටටම පෙන්වන්න ලැබුණු හොඳම අවස්ථාවක් වුණා. ඔහු එම අවස්ථාව භාවිතා කළේ පන්දුවෙන් හා පිත්තෙන්ම තරගවල ගමන්මග වෙනස් කරන දක්ෂතා දැක්වීමෙන්.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් ගමන ආරම්භ කළ කවිඳු, මේ වන විට NCC කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්. දකුණතින් මඳ වේග පන්දු යවන ඔහු, අවශ්‍ය මොහොතක ඉනිම ගොඩනගන වමත් මැද පෙළ පිතිකරුවෙකු ලෙසින් ද කණ්ඩායමට වටිනාකමක් එක් කළා.
දඹුල්ල කණ්ඩායම අවසන් මහා තරගයේ දී කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජය කරමින් ශූරතාව දිනාගත් අතර, එම තරගය තුළ චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ සහ අකිල ධනංජය වැනි ජාතික මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කළා. නමුත් තරගයේ තීරණාත්මක බලපෑම එල්ල කළේ කවිඳුයි.
අවසන් මහා තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත් ඔහු, කොළඹ ඉනිමේ ප්‍රධානම කොටස සම්පූර්ණයෙන් බිඳ දැමුවා. ඒ පන්දු යැවීම, දඹුල්ල කණ්ඩායම තරගයේ පාලනය තමන් වෙත ගන්නට හේතු වූ තීරණාත්මක අවස්ථාවක් වුණා. තරගාවසානයේදී අදහස් දක්වා සිටි කවිදු සඳහන් කර සිටියේ සමස්ථ තරගය පුරා තමන් දවාගත් කඩුලු අතරින් තමාට වැදගත්ම කඩුල්ල ලෙස සලකනු ලබන්නේ ජනිත් ලියනගේගේ කඩුල්ල වූ බවයි.
මෙම තරගයේදී පන්දුවෙන් පමණක් දක්ෂතා දැක්වුවත්, සමස්ථ තරගාවලිය දෙස අවධානය යොමු කිරීමේදී කවිඳුගේ දක්ෂතා වේග පන්දුවට පමණක් සීමා වුණේ නැහැ. තරගාවලියේ පෙර වටයක මහනුවර කණ්ඩායමට එරෙහිව ඔහු ක්‍රීඩා කළ ලකුණු 78ක ඉනිම, ඔහුගේ ඉවසීම, ඉනිම කියවීමේ හැකියාව සහ මැද පෙළේ වගකීම දරන ආකාරය ගැනත් හොඳ පණිවිඩයක් ලබා දුන්නා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් මැද පෙළ ස්ථාවර කරමින් පන්දුවෙන් ද බලපෑමක් සිදු කළ හැකි විශ්වාසනීය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සොයමින් සිටින අවස්ථාවක, කවිඳු පතිරත්නගේ මෙම දක්ෂතා විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. ඔහු පිත්තෙන් සහ පන්දුවෙන්ම තරගයක ගමන්මග වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු බව NSL තරගාවලිය තුළ ඔහු පැහැදිළි කිරීමට සමත්වුණා.
අවසන් මහ තරගයේදී දවා ගත් කඩුලු 6 ද සමගින් සමස්ථ තරගාවලිය පුරා කඩුලු 17ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභියා වූ කවිඳු, එම අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයට (Player of the Final) අමතරව තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මාන (Most Valuable Player) ද්විත්වයම දිනා ගනිමින් මෙම තරගාවලිය තමාට අමතක නොවන තරගාවලියක් ලෙසින් අලංකාර ලෙස නිමා කිරීමට සමත් වුණා.
2022 වසරේ සිට මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග 34කට ක්‍රීඩා කරමින් ලකුණු 775ක් සහ කඩුලු 61ක් ලබා ඇති කවිඳු, තවමත් වයස අවුරුදු 23ක් පමණක් වූ ක්‍රීඩකයෙක්. එහෙත් ඔහු මේ වන විටත් පෙන්වා ඇති සංයමය, ක්‍රීඩා බුද්ධිය සහ තරග බලපෑම, ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අනාගත සැලසුම් තුළ අවධානය යොමු කළ යුතු නාමයක් බවට පත් කර තිබෙනවා. මෙය වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවට සිය කටයුතු සිදුකරගෙන යෑම පහසු කරවන්නක් වනු නොඅනුමානයි.
NSL වේදිකාව ඔහුට ලබා දුන්නේ අවස්ථාවක්. කවිඳු පතිරත්න ඒ අවස්ථාව පරිවර්තනය කළේ, “ඊළඟට අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා මමයි“ කියන ප්‍රබල පණිවිඩය ද ලොවට ලබා දෙමින්.

