දෙවැනි තරගය වර්ෂාව නිසා අතහැර දමයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා) අළුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යොමු නොකරම අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවූහ. තරගාවලියේ පළමු තරගය ජගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස මේ වන විටත් පෙරමුණ ගෙන සිටියි.

අද තරගයේදී සිදුවූ එකම නිල ක්‍රියාකාරම බවට පත්වූයේ කොදෙව් නායක ෂායි හෝප් කාසියේ වාසිය දිනාගැනීම පමණි. තරගය ආරම්භයට පෙරද ඇතිවූ වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය සඳහා වූ කටයුතුද මිනින්තු 30 කින් පමණ ප්‍රමාද විය.

මෙම තරගය අත්හැර දැමීමත් සමඟ තරගාවලිය ජය ගැනීමේ කොදෙව් බලාපොරොත්තු මේ වන විටත් බිඳ වැටී තිබෙන අතර, සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරගය ජයගතහොත් තරගාවලිය සම තත්ත්වයෙන් පමණක් නිමා කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිව තිබේ. එසේම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ සටනේදී ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම සඳහා එම තරගය කොදෙව්වන්ට විශේෂ වැදගත්කමක් දරයි.

අද තරගය සඳහා කණ්ඩායම් දෙකම වෙනස්කම් එක බැගින් සිදුකර තිබූ අතර, පළමු තරගය ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු වෙනුවට එෂාන් මාලිංගව කැඳවා තිබිණ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආබාධයකට ලක්වූ මැතිව් ෆෝඩ් වෙනුවට අමීර් ජැන්ගූ කැඳවා තිබුණි.

මේ අතර තම 150 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි කොදෙව් නායක ෂායි හෝප් වෙත විශේෂ සමරු ජර්සියක් පිරිනමන ලදී. කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔහුගේ මෙම සුවිශේෂී අවස්ථාව ක්‍රීඩාංගණයේදී සැමරීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර තීරණාත්මක අවසන් එක්දින තරගය සඳුදා පැවැත්වීමට නියමිතය.

Back To Top