ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායමට හිටපු යොවුන් නායිකාවක වන තුන් ඉරියව් ක්‍රීඩිකා මනුදි නානායක්කාර නැවතත් නම් කර තිබේ.
ගතවූ වසර 2 ක පමණ කාලයේදී ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද මනුදි ඉකුත් 2025 වසරේ ඔස්ට්‍රේලියානු බාළිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති විස්සයි-20 තරග 5 දී සහ එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලැබීය. ඇයට අමතරව කණ්ඩායමට එක්ව සිටි අනෙක් අලුත් මුහුණ වන්නේ මහනුවර මහාමායි විදුහලේ ක්‍රීඩිකාවක වන සනුකි පතිරගේ වේ.
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ජූනි 18 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර, මෙම තරගාවලිය දින 15ක කාලයක් පුරා චෙන්නායි සහ පොන්ඩිචෙරි නගරවලදී පැවැත්වේ. තරගාවලිය විස්සයි-20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත වේ.
මෙම සංචිතය නම් කිරීමේදී ඉකුත්දා ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේදී පැවැති තරග සංචාරයට ඇතුළත් වූ ශෂිනි ගිම්හානි සහ ශයනි තෙන්නකෝන්ට මෙම තරගාවලියේදී අවස්ථාව ලැබී නොමැත.
ඒ අතරින් ශෂිනි ගිම්හානි එංගලන්තයේ පැවැති පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නම් කර තිබුණද, පිට කොන්දේ ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇයට එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත්, ඇගේ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන් මෙවර ඉන්දීය තරග සංචාරය සදහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
මෙම තරගාවලියේ විස්සයි-20 තරග තුන ජූනි 22, 24 සහ 27 දිනවල චෙන්නායිහිදී පැවැත්වෙන අතර, එක්දින තරග තුන ජූනි 30, ජූලි 3 සහ ජූලි 6 දිනවල පොන්ඩිචෙරිහිදී පැවැත්වීමට නියමිතය.
චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් සහ සංජනා කාවින්දිගේ උප නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම – චමුදි ප්‍රබෝධා (නායිකා), සංජනා කාවින්දි (උප නායිකාව), නෙත්මි උපේක්ෂා, මනුදි නානායක්කාර, ලිමංසා තිලකරත්න, උමයංගනා පීරිස්, දනෝද්‍යා සෙව්මිණි, නෙතංගි ඉසුරංගි, ප්‍රමුදි මෙත්සරා, යෙෂාලි ජිතාරා, විමෝක්ෂ බාලසූරිය, සනුකි පතිරගේ, චමෝදි හේරත්, අසේනි තලගුණේ සහ ඩාරියා දිසානායක.

