ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ප්‍රධානතම බලාපොරොත්තුවක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ළහිරු කුමාරට සිය දක්ෂතා උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමට විවිධ අවස්ථාවලදී ආබාධ බාධාවක් වුවද, රාවල්පිණ්ඩිහිදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහු යළිත් වරක් තමන් සතු වේගයත්, පන්දු යැවීමේ තියුණු බවත් මැනවින් ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටියි.
තරගයේ දෙවැනි දිනයේදී පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 5ක් ලකුණු 95කට දවාගත් ළහිරු කුමාර, දශකයකට ආසන්න කාලයකට පසුව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි කඩුලු පහේ දස්කම වාර්තා කිරීමට සමත් විය. 2016 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් ඔහු සිය තෙවැනි ටෙස්ට් තරගයේදීම දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී කඩුලු 6ක් දවාගනිමින් ජාත්‍යන්තර අවධානය දිනාගත්තේය. එහෙත් එදා සිට අද දක්වා ගෙවුණු වසර දහයක කාලය තුළ ඔහුට තවත් කඩුලු පහේ දස්කමක් වාර්තා කිරීමට අවස්ථාව ලැබී තිබුණේ නැත.
“අපි හොඳට පන්දු යැව්වා. අන්තිම ටිකේදී පොඩ්ඩක් ලකුණු ගොඩක් ගියා. ඒක අඩු කරගන්න තිබුණා නම් මම හිතන්නේ අපේ පන්දු යැවීමේ දක්ෂතා හොඳයි කියලා.”
පාකිස්තාන පළමු ඉනිමේ අවසන් කඩුලු තුන වෙනුවෙන් ලකුණු 104ක් එක්වීම පිළිබඳව අදහස් දක්වමින් ළහිරු එසේ පැවසීය. කෙසේ වෙතත්, ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාව හමුවේ පාකිස්තාන මැදපෙළට දැඩි පීඩනයක් එල්ල වූ අතර, අසාන් අවයිස්, සෞද් ශකීල් සහ සාකිබ් ඛාන්ගේ කඩුලු දවාගැනීමට ඔහු සමත් විය. අනතුරුව රසාඋල්ලාගේ කඩුල්ල ද දවාගනිමින් සිය කඩුලු පහ සම්පූර්ණ කළේය.
විශේෂයෙන්ම පාකිස්තාන පිතිකරුවන්ට කෙටි පන්දු යොමු කරමින් ඔවුන් පසුපසට තල්ලු කිරීමෙන් අනතුරුව නිවැරදි දිගින් යුත් පන්දු යොමු කිරීම ඔහුගේ සැලසුමේ සාර්ථකත්වයට හේතු විය. පිට ඉන්නෙන් පිටත පතිත වන පන්දු අවසන් මොහොතේ ඇතුළට හෝ පිටතට දෝලනය කරමින් පිතිකරුවන්ගේ පිත්තේ දාරය සොයා යාමට ද ඔහු සමත් විය.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 98කට දැවී යාමෙන් අනතුරුව පාකිස්තානය ලකුණු 325ක් ලබාගනිමින් ලකුණු 227ක වාසියක් හිමිකර ගත්තේය. ඒ අනුව දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට තරගයට නැවත අවතීර්ණ වීමට නම් පිතිකරුවන්ගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය වනු ඇත.
“මම හිතනවා අපි හෙට හොඳින් පන්දුවට පහර දුන්නොත්, හොඳ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවලා නැවත තරගයට අවතීර්ණ වෙන්න අපට හැකියාව තියෙනවා කියලා. ලකුණු කීයක් ලබාගන්න ඕනද කියලා දැන්ම කියන්න බැහැ. අපි පන්දුවට පහර දීලා ලබාගන්න ලකුණු සංඛ්‍යාව අනුව ඒක ආරක්ෂා කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම පිළිබඳව ළහිරු දැක්වූයේ එවැනි අදහසකි. එහිදී ලබාගත යුතු නිශ්චිත ලකුණු සංඛ්‍යාවක් සඳහන් කිරීම අපහසු බවත්, පිතිකරුවන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව එය ආරක්ෂා කරගැනීම තම කණ්ඩායමේ බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය.
පාකිස්තාන පිතිකරුවන්ගේ දක්ෂතා පිළිබඳව ද අදහස් දැක්වූ ළහිරු, ඔවුන් ද අනෙකුත් රටවල පිතිකරුවන් මෙන්ම දක්ෂ පිතිකරුවන් බව සඳහන් කළේය.
“එයාලා හොඳ පිතිකරුවන්. වෙනත් රටවල පිතිකරුවන් වගේම තමයි. අපි ඔවුන්ට හොඳ තැන්වල පන්දු යවනවා. කොහොම හරි ඔවුන්ව දවාගන්න සැලසුම් කරලා තමයි පන්දු යවන්නේ.”
වයස අවුරුදු 29ක් වන ළහිරු කුමාරගේ මෙම දස්කම ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ක්‍රිකට් ගමනට ද වැදගත් සන්ධිස්ථානයකි. දශකයකට පෙර කේප්ටවුන්හිදී ලෝකයට හඳුන්වා දුන් වේග පන්දු යවන්නාගේ හැකියාව තවමත් ජීවමාන බව රාවල්පිණ්ඩිහිදී ඔහු පෙන්වා දී තිබේ. දැන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වන්නේ ඔහු පන්දුවෙන් ලබාදුන් දායකත්වයට පිතිකරුවන්ගේ සහාය ද එක්වීමෙන් තරගයේ ඉරණම වෙනස් කර ගැනීමය.

