ක්‍රීඩා පාලනය, දේශීය තරඟාවලි සහ ක්‍රීඩා යටිතල පහසුකම් සම්බන්ධයෙන් තීරණාත්මක සංශෝධන කිහිපයක් සම්මත කරගැනීම වෙනුවන් අප්‍රේල් 6 වනදා, එනම් හෙට දිනයේදී විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.
මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් යෝජනා තුනක් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.
පළමු යෝජනාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. මෙමඟින් ලංකාවේ මෙන්ම විදේශයන්හිද ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සෘජුවම දායක වීමට ආයතනයට බලය හිමිවනු ඇතියි.
බහු-ක්‍රීඩා සංකීර්ණ, උසස් දක්ෂතා මධ්‍යස්ථාන, ක්‍රීඩා ඇකඩමි සහ ක්‍රීඩා නගර වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, පුද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වයන් ඇති කරගැනීමටත් මෙහිදී අවසර හිමිවනු ඇතියි.
දෙවන යෝජනාව මගින් යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ අක්කර 138ක භූමි භාගයක “යාපනය ක්‍රීඩා නගරය” පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, පර්යේෂණ ආයතනක් මෙන්ම සංචාරක පහසුකම් ඇතුළත් ව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය රජයේ මුදල් මත යැපීමෙන් තොරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර අරමුදල් සහ උපායමාර්ගික ආයෝජන හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
තෙවන යෝජනාව වන්නේ 2026 වාරයේ සිට දේශීය පළමු පෙළ ක්‍රිකට් (Major Club Tier ‘A’ & ‘B’) තරඟාවලිවල උසස්වීම් සහ පහත හෙලීම් ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි.
මින් ඉදිරියට ශූරයන් තෝරාගැනීමේදී විස්සයි-20, එක්දින සහ තෙදින යන තරඟ රටා තුනෙන්ම ලබාගන්නා ලකුණු සලකා බලනු ඇත. එනම් විස්සයි විස්ස තරග රටාවේදී ලකුණු වලින් 24%ක්, එක්දින තරග රටාවේ ලකුණු වලින් 25%ක් සහ තෙදින තරග රටාවේ ලකුණු වලින් 51%ක් ආදී වශයෙන් සලකා බැලීමට නියමිතයි.
මේ අනුව වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් ශූරතාව දිනා ගන්නා අතර, දක්ෂතා අඩු කණ්ඩායම් පහළ කාණ්ඩ කරා පහත හෙලීම සිදුවනු ඇතියි.

