ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 11ක ජයක් අත්කර ගත්තේය.
මුලින් පන්දුවට පහර දුන් කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218කි. මැලේ ක්‍රිකට් සමාජය ලකුණු 219ක ජයග්‍රහණ ඉලක්කයක් සපුරා ගැනීමට පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඔවුන් මුහුණ දුන් අනෙක් අභියෝගය වුයේ සවස්වරුවේ ඇඳිරි කාලගුණය සහ අපේක්ෂිත වර්ෂාව පරයමින් ජයග්‍රහණය කරා ඉක්මනින්ම යාමය.
අයහපත් කාලගුණය මත සවස 3.35ට නතර කළ තරගය නැවත ආරම්භ වුයේ සවස 3.58ට ය. නැවත 4.11ට තරගය නතර කිරීමට සිදු විණි. පසුව විනිසුරුවන් තීරණය කළේ තරගය පන්දුවාර 30කට සීමා කර ජයග්‍රහණ ඉලක්කය ලකුණු 167ක් බවට පත් කිරීමටය.
මැලේ ක්‍රිකට් සමාජය දෙවනුවට පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රථම පන්දුවාරයේ සිටම පන්දුවාරයකට ලකුණු හය ඉක්මවා රැස් කරමින් ඔවුන් අනුගමනය කළේ ඉක්මනින්ම ජයග්‍රහණය කරා යාමටය. මෙහිදී ජයග්‍රහණයේ නියමුවා ලෙස පන්දුවට පහර දුන් ආරම්භක පිතිකරු සචින් ගොඩමාන්න පන්දුවාර 30 නිම වන තෙක්ම කඩුල්ලේ රැදෙමින් නොදැවී ලකුණු 59ක් රැස් කර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඔහු පන්දු 81කට මුහුණ දී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් ද එල්ල කළේය.
සචින්ට අනගි සහයක් ලබා දුන් අංක හතර පිතිකරු ජනිත් මිහිරංග පන්දු 28කට පමණක් මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහරක් සමග රැස් කළ වේගවත් ලකුණු සංඛ්‍යාව 44කි. මොවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 63ක් රැස් කළේ පන්දුවාර 7.5ක දී ය.
මීට අමතරව මැලේ ක්‍රිකට් සමාජයේ ප්‍රථම කඩුල්ලට සචින් ගොඩමාන්න සහ ඔවින් සල්ගාදු (ලකුණු 41) පන්දුවාර 11.5ක දී ලකුණු 63ක් රැස් කළහ.
කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන අවස්ථාවේ අංක හතර පිතිකරු ස්ටීවන් පීරිස් පන්දු 74කට මුහුණ දී හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 60ක් රැස් කළේය. මීට අමතරව ආරම්භක පිතිකරු රුසිත් ජයවර්ධන ලකුණු 38ක් ලැබීය. මේ ඉනිමේ දී ලකුණු 30කට කඩුලු තුනක් දවාලු මැලේ ක්‍රිකට් සමාජයේ සවිඳු උත්සර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරිණි.
ලකුණු විස්තරය
- මැලේ ක්‍රිකට් සමාජය – කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය – පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී
මැලේ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 11කින් ජය ගනී (වර්ෂාව මත ජයග්‍රහණ ඉලක්කය පන්දුවාර 30ක දී ලකුණු 167යි)
කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී සියල්ල දැවී ලකුණු 218 – ස්ටීවන් පීරිස් 60, රුසිත් ජයවර්ධන 38, පැතුම් රත්නායක 37, ටෙහාන් බිටර් 26, අසීම් මොහමඩ් 17, සවිඳු උත්සර 30/3, මිහිරංග ප්‍රනාන්දු 26/2
මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 30ක දී කඩුලු 4ක් දැවී ලකුණු 177 – සචින් ගොඩමාන්න නොදැවී 59, ජනිත් මිහිරංග 44, ඔවින් සල්ගාදු 41, අර්ජුන් ගුණවර්ධන 22/1, මෝදිත වීරසිංහ 22/1
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සවිඳු උත්සර – මැලේ ක්‍රිකට් සමාජය)

