2026 IPL තරගාවලියේ කණ්ඩායම් තුනක ඉදිරි ගමන තීරණය කරන තරගය වූ රාජස්ථාන් – මුම්බායි තරගය අද මුම්බායිහී වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.මෙවර IPL තරගාවලියේ 69වෙනි තරගය වූ එම තරගය ජයග්‍රහණය කිරීම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අත්‍යවශ්‍ය වී තිබුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 205ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.රාජස්ථාන් කණ්ඩායම ලකුණු 200ට වැඩි ලකුණු පුවරුවක් නිර්මාණය කළත් කිසිදු පිතිකරුවෙක් අවම වශයෙන් අර්ධ ශතකයක් හෝ වාර්තා කර නොතිබීම විශේෂයි.රාජස්තාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ධෘව් ජුරෙල් රැස් කරගෙන තිබුණේද ලකුණු 38ක් පමණයි.රාජස්ථාන් ඉනිමේ අවසන් පන්දුවාර වල ජොෆ්රා ආචර් දියත් කළ ප්‍රවේගකාරී ඉනිමත් සමග ලකුණු 200ක ලකුණු ප්‍රමාණයක් පේන මානයකවත් නොසිටි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 200 සීමාවට පැමිණියා.
ලකුණු 206ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට රැස් කිරීමට හැකි වූවේ ලකුණු 175ක් පමණයි.මුම්බායි ඉනිමේ පමණක් නොව අද තරගයේම වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කරේ සූර්යකුමාර් යාදව් විසින්.ඔහු ලකුණු 60ක් රැස් කරා.සූර්යකුමාර් එක්ක එකතුව මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට විල් ජැක්ස් සහ හර්දික් පාන්ඩ්යා උත්සහ කළද ඒ සියලු උත්සහයන් ව්‍යර්ථ වී ගියා.
ඒ අනුව තීරණාත්මක තරගය ලකුණු 30කින් ජයගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ Play-offs වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් සමග සටනේ සිටි පංජාබ් කිංග්ස්,දිල්ලි කැපිටල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් වලටද මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමට සිදු උනා.
තරගයේ ලකුණු සටහන
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 205යි.
ධෘව් ජුරෙල් 38(26),ජොෆ්රා ආචර් 32(15),දසුන් ශානක 29(15)
ශාර්දුල් තාකූර් 41/2,දීපක් චහර් 43/2,විල් ජැක්ස් 12/1,කෝර්බින් බොස්ච් 38/1,අල්ලාහ් ඝසන්ෆර් 45/1
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 175යි.
සූර්යකුමාර් යාදව් 60(42),හර්දික් පාන්ඩ්යා 34(15),විල් ජැක්ස් 33(18)
ජොෆ්රා ආචර් 17/3,බ්‍රිජේෂ් ශර්මා 26/2,නන්ඩ්‍රේ බර්ගර් 43/2,යෂ් පුන්ජා 44/2

