ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවුණා.
කොළඹ රේස්කෝස් පිටියේදී පැවති මෙම තරගයේදී ශ්රී ලංකා රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, සංචාරක හොංකොං චීන කණ්ඩායම තරගයේ 80 වන මිනිත්තුවෙන් පසුව වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් එමිරේට්ස් ආසියානු රග්බි ශූරතාවලියේ (Asia Rugby Championship 2026) සමාරම්භක තරගයෙන් ලකුණු 15-14 ක තියුණු පරාජයක් විඳගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
මෙම තරගයේදී හොංකොං කණ්ඩායම වෙනුවෙන් නවක ක්රීඩකයින් 10 දෙනෙකු ද, ශ්රී ලංකා සංචිතය වෙනුවෙන් වෙනස්කම් කිහිපයක් ද සිදු කරමින් කණ්ඩායම් ද්විත්වයම තරගයට පැමිණ සිටියා.
තරගයේ මුල් මිනිත්තු 20 පුරා දෙපිලෙන්ම කරට කර සටනක් දියත් වූ අතර, ශ්රී ලංකා ක්රීඩකයින් අතින් සිදු වූ විනය කඩකිරීම්වලට දඬුවම් කරමින් හොංකොං කණ්ඩායමේ ඩිලාන් මැකෑන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු දඩයම ආරම්භ කරා. (ශ්රී ලංකාව 00 – 03 හොංකොං)
ඉන් අනතුරුව ස්ක්රම් සහ දඬුවම් පහරවල් බහුල වූ, තරමක් පසුගාමී මුහුණුවරක් ගත් පළමු අර්ධය නිමාවන විට සංචාරකයින් ලකුණු 03-00 ක් ලෙස පෙරමුණේ පසුවුණා.
දෙවන අර්ධය ආරම්භයේදීම හොංකොං කණ්ඩායමේ ඩනා ෆූරි දියත් කළ දරුණු ප්රහාරාත්මක ලකුණු රැගෙන යාමකින් පසුව, ඔවුන්ගේ ලොක් ක්රීඩක ග්ලෙන් හුයි ශ්රී ලංකා ආරක්ෂක වළල්ල බිඳදමමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුණා.ඩිලාන් මැකෑන් එහි ප්රවර්තනය ද සාර්ථක කර ගැනීමත් සමඟ හොංකොං ලකුණු පුවරුව 10-00 ක් ලෙස ඉහළ ගොස් තිබුණා.
කෙසේ වෙතත්, තරගයේ 48 වැනි මිනිත්තුවේදී හොංකොං ක්රීඩක මැකෑන් යොමුකළ අසාර්ථක පන්දු හුවමාරුවක් සිය ග්රහණයට ගත් ශ්රී ලංකාවේ තේනුක නානායක්කාර, එය ආදේශක ක්රීඩක විදූන අමනෙත් වෙත යොමු කරමින් ශ්රී ලංකාවේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුණා.නානායක්කාර එහි ප්රවර්තනය ද සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 10-07 ක් ලෙස අවම කර ගැනීමට සමත් වුණා.
ඉන් පසු ලකුණු තත්ත්වය සම කර ගැනීමට නානායක්කාරට දඬුවම් පහරක් හිමි වුවද එය අවාසනාවන්ත ලෙස ඉලක්කයෙන් බැහැරට ඇදී ගියා.
තරගයේ 60 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ ශ්රී ලංකා ඉදිරි පෙළ ලොක් ක්රීඩක නවීන් මාරසිංහ, හොංකොං ආරක්ෂකයින් මතින් කඩා වදිමින් ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කරා.මුර්ෂිඩ් සුබේර් එහි ප්රවර්තනය සාර්ථක කිරීමත් සමඟ තරගයේ ප්රථම වතාවට ශ්රී ලංකාව ලකුණු 14-10 ක් ලෙස පෙරමුණට පැමිණියා.
ජයග්රහණයේ මාවත විවර කරගනිමින් ශ්රී ලංකාව තවදුරටත් ප්රතිවාදී සීමාව ආක්රමණය කළද, හොංකොං කණ්ඩායමේ දැඩි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට හැකි වූවේ නැහැ.
තරගය අවසන් වීමට තත්පර කිහිපයක් තිබියදී ශ්රී ලංකා ක්රීඩකයින්ට එල්ල වූ දැඩි පීඩනය හමුවේ ක්රියාත්මක වූ හොංකොං නායක ඩීන් ස්කයර් දක්ෂ ලෙස පන්දුව ආදේශක හුකර් ක්රීඩක බිලී ලන්ග් වෙත යොමු කළ අතර, ඔහු දුවගොස් තැබූ උත්සාහක දිනුම නිසා ශ්රී ලංකාව අතේ තිබූ ජයග්රහණය හොංකොං පිල සතු වුණා.
ඒ අනුව තරගයේ අවසාන ලකුණු තත්ත්වය,
• හොංකොං : ලකුණු 15 (උත්සාහක දිනුම් 2, ප්රවර්තන 1, දඬුවම් පහර 1)
• ශ්රී ලංකාව : ලකුණු 14 (උත්සාහක දිනුම් 2, ප්රවර්තන 2)
තරගයේ වීරයා : විමුක්ති ගමග

