නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් ශූරතාව දෙවැනි වතාවටත් දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන 2026 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් විය.

පසුගිය වසරේ අනුශූරයන් වූ දඹුල්ල කණ්ඩායම, අවසන් මහා තරගයේ මුල සිටම පෙරමුණ ගනිමින් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජය කළේය. වසර පහක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ කණ්ඩායම තවමත් ශූරතාවක් දිනා නොමැති අතර, මෙවරද අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඒ අනුව ඔවුන්ට රුපියල් ලක්ෂ 30ක අනුශූරතා මුදල් ත්‍යාගය හිමි විය.

කොළඹ පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 299ක ඉලක්කයක් එල්ල වූ අතර, ඊයේ තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ස්ථාවර තත්ත්වයක රැඳී සිටියේය. එහෙත් තරගයේ සිවැව්නි දිනය වූ අද (07 දා) දිනයේ දී ලකුණු පුවරුවට ලකුණු 25ක් එක්වෙද්දී ඉතිරි කඩුලු 6 ම දවා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. දඹුල්ල පිලේ වේග පන්දු යවන මොහොමඩ් සිරාස් අද දිනයේ පළමු කඩුල්ල ලෙසින් කොළඹ නායක චරිත් අසලංකගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමට ප්‍රධානම හේතුව විය. අනතුරුව ශාරුජන් ශන්මුගනාදන්ව දවා ගත් නිසල අබේරත්න, එතෙක් වේලා දෙපිළිටම වාසිය දෝලනය වූ තරගයේ සම්පූර්ණ වාසිය දඹුල්ල කණ්ඩායම වෙත ලබා දුන්නේය.

කොළඹ පි‍ලේ දෙවැනි ඉනිම වෙනුවෙන් ඊයේ දිනයේ නොදැවී ලකුණු 29ක් ලබා සිටි චරිත් අසලංක අද දිනයේ මුලින්ම ලකුණු 35කට දැවීගිය අතර, අනෙක් කිසිඳු පිතිකරු‍වෙකුට ලකුණු 5කට වඩා වාර්තා කිරීමට අවස්ථා නොලැඹුණි. දිනයේ දැවී ගිය කඩුලු 6 න් 4 ක් 3 ක් මොහොමඩ් ශිරාස් දවා ගනිද්දී නිසල අබේරත්න කඩුලු 2 ක් ද දවා ගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේ වේග පන්දුවට උචිත තණතිල්ලක් සකස්වී තිබූ අතර, අවසන් මහා තරගයේදී දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙස කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 146කට සීමාවිය. මේ හේතුවෙන් පළමු ඉනිමේ ලකුණු 76ක වාසියක් ඇතිව දඹූල්ල දෙවැනි ඉනිමට ලකුණු 222ක් ලබා ගැනීම හේතුවෙන් කොළඹට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 299ක් දක්වා ඉශළ ගියේය.

දඹුල්ල පිලේ අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි අකිල ධනංජය පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමත් සමඟ දඹුල්ල පිලෙන් එල්ල වූ ඉලක්කය කොළඹ පිලට බැරෑරුම් එකක් විය.

තම 100 වැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක අකිල ධනංජය පළමු පෙළ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර,  අකිල හා අංජල බණාඩ්ර 8 වැනි කඩුල්ලට පන්දු 89කදී ලකුණු 45ක්, අකිල හා නිසල අබේරත්න අවසන් කඩුල්ලට පන්දු 64කදී ලකුණු 40ක් එක් කිරීම වාසි සහගත විය.

පන්දු යැවීමේදී දඹුල්ල පිලේ කවිඳු පතිරත්න තරගය පුරා කඩුලු 6ක්, අකිල ධනංජය හා මොහොමඩ් සිරාස් කඩුලු 4 බැගින් දවාගත් අතර, කොළඹ පිලේ ප්‍රභාත් ජයසුරිය කඩුලු 7ක් බිදහෙළීය.

තරගාවසානයේ පැවැති ජය සංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ වීරයා ලෙසින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු පතිරත්න සම්මාන දිනාගත්තේය. ඔහුට එම කුසලාන සමග මුදලින් රු. හත්ලක්ෂ පනස් දහසක මුදලක් හිමිවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍ර මෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජය සංකේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ වීරයාට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මායක කවිඳු පතිරත්න දිනා ගනු ලැබීය.

සමස්ථ තරගාවලියේ තරග 3 කට ක්‍රීඩා කළ දකුණත් වේග  පන්දු යවන්නා කඩුලු 11 ක් සහ අර්ධ ශතක 2 ක් ද සමගින් ලකුණු 183 ක් ලබා ගනිමින් එම සම්මානයට පාත්‍ර වූවේය. ඒ වෙනුවෙන් ඔහුට එම කුසලාන සමඟ මුදලින් ලක්ෂ 15 ක් හිමිවිය.

මීට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් තරග 3 කදී ශතකයක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 384 ක් ලබා ගත් ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රමද, දක්ෂතම  පන්දු යවන්නා ලෙසින් තරග 3 කදී කඩුලු 13 ක් දවා ගත් කොළඹ කණ්ඩායමේ චමෝද් බට්ටගේ විසින්ද දිනා ගනු ලැබීය. මොවුන් දෙදෙනාටම එම කුසලාන සමඟ මුදලින් ලක්ෂ දහයක් බැගින් හිමිවිය.

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 222 (ඕවර් 70) – ලසිත් කෘස්පුල්ලේ 16, ධනංජය ද සිල්වා 15, පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40 ( ප්‍රමෝද් මධුෂාන් 39/1, ධනංජය ලක්ෂාන් 42/2, ජනිත් ලියනගේ 18/2, ප්‍රභාත් ජයසූරිය 54/4 )

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 146 (ඕවර් 44.3) – ප්‍රභාත් ජයසූරිය 19, සාරුජාන් ෂන්මගනාදන් 44, චරිත් අසලංක 27, කවීජ ගමගේ 25, දුෂාන් හේමන්ත 14 (කවිඳු පතිරත්න 51/5, අකිල ධනංජය 17/3)

දඹුල්ල පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 222 (ඕවර් 71.4) – විෂාද් රන්දික 21, නිශාන් මධුෂ්ක 43, ලසිත් කෘස්පුල්ලේ 14, ධනංජය ද සිල්වා 5, සොනාල් දිනූෂ 12, අංජල බණ්ඩාර 32,  කවිඳු පතිරත්න 17, අකිල ධනංජය නොදැවී 53, නිසල අබේරත්න නොදැවී 9 (ප්‍රමෝද් මධුෂාන් 48/2, ජනිත් ලියනගේ 47/1, ප්‍රභාත් ජයසූරිය 16/3, චමෝද් බැට්ටගේ 55/4)

කොළඹ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 179 (ඕවර් 50.2) – ධනංජය ලක්ෂාන් 84, නුවනිඳු ප්‍රනාන්දු 23, චරිත් අසලංක 35,  සාරුජාන් ෂන්මගනාදන් 8 (‍මොහොමඩ් සිරාස් 38/4, කවිඳු පතිරත්න  37/1, අකිල ධනංජය 59/1, ‍නිසල අබේරත්න 23/2, ධනංජය ද සිල්වා 1/1)

Back To Top