ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් අටක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව එළඹෙන 19 වනදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු ඇතුළත් වී ඇත.

අවසන් ක්‍රීඩකයන් 333 දෙනා අතරට ඇතුළත් ක්‍රීඩකයන් අතරට මින් පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කළ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා දසුන් ශානක යන ක්‍රීඩකයන් ඇතුළත් වී ඇත. මීට අමතරව චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුසංඛ, ලහිරු කුමාර හා නුවන් තුෂාර යන ක්‍රීඩකයන් ඇතුළත් වී ඇත.

නුවන් තුෂාර පසුගිය අබුඩාබි T10 තරගාවලියේ දී විශිෂ්ට දස්කම් පාන්නට සමත් වූ අතර පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී විශිෂ්ට දස්කම් පෑ ඩිල්ෂාන් මධුසංඛ කෙරෙහි කණ්ඩායම් දැඩි අවදානයෙන් පසුවනු නොඅනුමාන. මෙවර තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 119 දෙනෙකු අවසන් ලැයිස්තුවට ඇතුළත් වද්දී ඉන් ක්‍රීඩකයන් 30ක් තෝරාගැනීමට නියමිතය. මේ අතරින් වනිදු හසරංගට ඉන්දීය කෝටි 1.5ක මූලික වටිනාකමක්ද සෙසු ක්‍රීඩකයන් සියල්ලම ලක්ෂ 50ක මූලික වටිනාකම් කාණ්ඩයට ඇතුළත් වී ඇත.

Back To Top