පළමු පෙළ ශූරතාව දිනාගන්න කෝල්ට්ස් – මුවර්ස් – ඒස් කැපිටල් අතර තුන්කොන් සටනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ලීග් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය අවසන් අදියරට ළඟාවීමත් සමඟ, ශූරතා කුසලාන දිනාගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මේ වන විටත් නිර්මාණය වී ඇත.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය කෝල්ට්ස් කණ්ඩායමට හිමිව තිබුණද, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන මුවර්ස් (55.635) සහ ඒස් කැපිටල් (54.660) කණ්ඩායම් දෙකටද අවසන් සති අන්තයේ පැවැත්වෙන තරගවලදී දක්ෂතා දැක්වීමට සමත් වුවහොත්, කුසලානය දිනාගැනීමේ අවස්ථාව තවමත් ඉතිරිව පවතී. ඒ අනුව, අවසන් සතිය වන විට ශූරතා කුසලානය වෙනුවෙන් තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ.

තරග 6ක් තුළ පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජය 3ක් ලබාගනිමින්, ප්‍රසාද ලකුණු 61.765ක් සන්තක කරගෙන සිටින කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මේ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවේ. ඔවුන් ශූරතාවයට වඩාත් ආසන්න කණ්ඩායම ලෙස පෙනී සිටියද, තරගාවලියේ අවසන් සතිය ඔවුන්ට තීරණාත්මක අභියෝගයක් වී ඇත.

එමෙන්ම, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන මුවර්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් දෙකම තවමත් ශූරතාවය සඳහා තරඟයෙන් ඉවතට නොපැමිණ ඇති බව පැහැදිලිය. අවසන් සති අන්තයේ ඔවුන් දෙදෙනාම පූර්ණ ජයග්‍රහණ වාර්තා කළහොත් සහ කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත්වුවහොත්, ශූරතාවය වෙනත් දිශාවකට හැරවිය හැකිය.

මුල් වටයේ කණ්ඩායම් 14ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුණු අතර, එයින් ඉදිරියෙන්ම පසුවූ කණ්ඩායම් 8ක් සුපිරි වටයට සුදුසුකම් ලැබීය. එම වටයේ දැක්වූ දක්ෂතා අනුව, මේ වන විට ඉහළම තරඟකාරී කණ්ඩායම් තුනක් ශූරතාවය අසලට පැමිණ සිටී.

කෙසේ වෙතත්, කුසලානය ආසන්නයට පිවිස සිටින කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට මෙම සති අන්තයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය දී එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය තීරණාත්මක වනු ඇත. එම තරගයේදී කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත්ව, මුවර්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කළහොත්, කෝල්ට්ස් කණ්ඩායමට අවාසිදායක තත්ත්වයක් උදා විය හැක.

අවසන් සති අන්තය වන මාර්තු 2728 සහ 29 යන දිනවලදී පැවැත්වීමට නියමිත තරග පහත පරිදි වේ:

ඒස් කැපිටල් සහ පොලිසිය – එන්. සී. සී. ක්‍රීඩාංගණය

මුවර්ස් සහ සී. සී. සී. – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

එන්. සී. සී. සහ කෝල්ට්ස් – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය

බී.ආර්. සී. සහ බ්ලූම්ෆීල්ඩ් – ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

Back To Top