[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට(21) දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩායම් ද්විත්වයම මේ වන විටත් තරගය වෙනුවෙන් මනා සූදානමකින් පසුවෙයි.
මෙම ලිපියෙහි අන්තර්ගත වනුයේ බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පිළිබදව Creedanet අප තබන සටහනකි.
වසර 2000දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය හිමිකරගන්නා බංගලාදේශ කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියේ මුණගැසුනේ 2001 වසරේ සැප්තැම්බර් මසදී පැවති ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලියේදීය. මෙම කාලසීමාවෙහි බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 20කදී මුහුණට මුහුණ තරග වැදී ඇත.
දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ගෞරව හිමිකරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ එම තරග අතුරින් 16ක ජයග්‍රහණය හිමිකරගනිමිනි. තරග තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වද්දී 2017 වසරේ සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගය පමණක් ජයග්‍රහණය කිරීමට බංගලාදේශයට හැකිවිය.
බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් තරග 12ක් වෙනුවෙන් මෙරටෙහි සංචාරය කොට ඇති අතර ඉන් තරග 10ක් පරාජයට පත්වන්නට සිදුවී ඇත. එක් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් වද්දී දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශය ජයග්‍රහණය කළ එකම තරගය බවට පත්වූ ඉහත කී තරගය මෙරට තුළදී ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය.
පළමු තරගය
පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේදී මුණගැසුනේ 2001 වසරේ පැවති ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලියේදීය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ඉනීමකින් හා ලකුණු 137කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායමට පළමු ඉනීම වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90ක් පමණි. මුත්තයියා මුරලිදරන් ලකුණු 13ක් තුළදී බංග්ලාදේශ කඩුලු 5ක් දවාගන්නට සමත් විය.
පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීමට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 555ක මනරම් ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය. ආරම්භක පිතිකරු මාවන් අතපත්තු ලකුණු 201ක් හා මහේල ජයවර්ධන ලකුණු 150ක් රැස්කොට සිටියදී තම ඉනීම නවතා දැමීමට තීරණය කළහ.
පිළිතුරු ඉනීම ක්‍රීඩා කළ බංග්ලාදේශ දෙවන ඉනීමට ලකුණු 328ක් එක්වූයේ මොහොමඩ් අශ්රාෆුල්ගේ ශතකයද සමගිනි. දෙවන ඉනීමේදීද මුත්තයියා මුරලිදරන් ප්‍රතිවාදී කඩුලු 5ක් බිදහෙලමින් ඉනීමක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුමකර දීමට සමත් විය.
ඉනීමක වැඩිම ලකුණු වාර්තා වූ තරගය
බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ඉනීමක වැඩිම ලකුණු වාර්තා වූ තරගය බවට පත්වූයේ 2014 වසරේ ජනවාරි මස 27 වනදා ඩකාහිදී ඇරඹි තරගයයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් රැස්කිරීමට සමත් වූයේ ලකුණු 232කි.
ඊට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනීමට දැවැන්ත ලකුණු 730ක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය. කඩුලු 6ක් පමණක් දැවී මෙම ලකුණු පුවරුව වාර්තා කරන්නට මහේල ප්රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවිය.
මහේල ජයවර්ධන නොදැවුනු ද්විත්ව ශතකයක්(ලකුණු 203) රැස්කිරීමට සමත් වද්දී ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 139ක් ශ්‍රී ලංකා ඉනීමට එක් කරන්නට සමත් විය. යොවුන් පිතිකරු කිත්රුවන් විතානගේ පන්දු 104ක් තුළදී නොදැවුනු ලකුණු 103ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් විය. බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවන ඉනීමේදී රැස්කිරීමට හැකිවන්නේ තවත් ලකුණු 250ක් පමණි.
දගපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා කඩුලු 5ක් දවාගනිමින් ඉනීමකින් හා ලකුණු 248කින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළට උරුම කරදෙන්නට දායක විය. බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ඉනීමකින් හා ඉහළම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරගය බවට මෙය පත් විය.
ඉනීමක අඩුම ලකුණු වාර්තා වූ තරගය
දෙරට අතර තරග 20ක ටෙස්ට් ඉතිහාසයේ ඉනීමක අඩුම ලකුණු ගණන වාර්තා වූ තරගය බවට පත් වූයේ 2007 වසරේ ජූලි මස 3වනදා ඇරඹි ටෙස්ට් තරගයයි. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පළමු ඉනීම ලකුණු 62කට සීමා විය.
දෙරටෙහි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනීමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව බවට මෙය පත් විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ රාජින් සාලේ ලකුණු 21ක් රැස්කළ නමුත් අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අවසර හිමි නොවීය. පන්දු යැවීමේදී ලසිත් මාලිංග හා මුත්තයියා මුරලිදරන් කඩුලු 4 බැගින් බිදහෙලන්නට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනීමට කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 451ක් රැස්කොට සිටියදී සිය ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. කුමාර් සංගක්කාර නොදැවුනු ලකුණු 200කින් ශ්‍රී ලංකා ඉනීම හැඩකරන්නට සමත් විය. බංග්ලාදේශ දෙවන ඉනීම ලකුණු 299කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. මෙම තරගයද ඉනීමකින් හා ලකුණු 90කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය.
ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොදම සබදතාවය වාර්තා වූ තරගය
බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුනු හොදම සබදතාවය වාර්තා කරන්නට කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සමත් විය. 2007 වසරේ ජුලි මස 11වන දිම අස්ගිරියේ පැවති තෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනීමේ තෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 311ක් රැස්කිරීමට සංගා මහේල යුගලයට හැකිවිය.
බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනීමට රැස්කළ ලකුණු 131කට පිළිතුරු සපයන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා පළමු ඉනීමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 74ක් තුළදී දැවීගියහ. අනතුරුව පිටියට එක්වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක්ව බංගලාදේශ පන්දු යවන්නට එරෙහිව පිටියේ කදවුරු බදින්නට විය.
පන්දුවාර 55 පන්දු 3ක් පිතිකරණයේ නියැලෙමින් ලකුණු 311ක සබදතාවක් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙද්දී ඊට මහේල ජයවර්ධන ලකුණු 165කින් හා කුමාර් සංගක්කාර ලකුණු 139කින් දායක විය. ශ්‍රී ලංකා පළමු ඉනීම ලකුණු කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 500කදී නවතා දැමීමට තීරණය කළ අතර කුමාර් සංගක්කාර නොදැවුනු ලකුණු 222කින් ඊට දායක විය.
බංග්ලාදේශ දෙවන ඉනීම ලකුණු 176කට සීමා කරන්නට මුරලිදරන් ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වද්දී ඉනීමකින් හා ලකුණු 193කින් එම තරගයේද ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු විය.
සටහන – Cree-da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]