2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කෙරේ

2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කිරීම අද (02දා) සිදු විය. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී විජේරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ පුහුණුකරුවන් එක්ව සිටියහ.

එම අවස්ථාවේ දී 2024 වසරේ ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය, පැරීසියේ පැවැති පැරාලිම්පික් තරගාවලිය, 2025 වසරේ දී ඉන්දියාවේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය, බහරේන් හි පැවැති තුන්වන යොවුන් ආසියානු ක්‍රීඩා තරගාවලිය යන තරගවලිවල දී දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා මෙම මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරුණි.

2024 ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී දස්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සඳහා රුපියල් මිලියන 8.5 ක මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරෙනු අතර, ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන 1.7ක මුදලක් පිරිනැමුණි.

2024 පැරිසියේ පැවැති පැරාලිම්පික් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙකු සඳහා රුපියල් මිලියන 20ක ප්‍රදානයන් සිදු කෙරුණි. ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන 4ක මුදලක් ප්‍රදානය කෙරුණි.

එමෙන්ම 2025 වසරේ දී ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 5ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණු අතර, ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණි.

බහරේන් හි පැවැති 2025 තුන්වන යොවුන් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සඳහා රුපියල් මිලියන 18.18 ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණි. එමෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් මිලියන තුනක මූල්‍ය ප්‍රදානයක් ලබාදුනි.
මෙම අවස්ථාවේදී ක්‍රීඩකයකු සඳහා හිමි වූ වැඩිම මුදල හිමි වූයේ කේ. ඒ සමිත දුලාන් ක්‍රීඩකයාට වන අතර ඔහු 2024 වසරේදී පැරීසියේ පැවැති පැරාලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනාගත් රිදී පදක්කම වෙනුවෙන් රුපියල් ලක්ෂ 150ක මුදලක් පිරි නැමුණි.

2024 වසරේ දී බහරේන්හි පැවැති තුන්වන යොවුන් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ජී.එල් ලහිරු අචින්ත ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ක්‍රීඩකයෙක් රටට ලබා දෙන කීර්තිය කිසිදු ලෙසකින් මුදලට සමාන කළ නොහැකි බවත්, ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් වූ තිළිණයක් ලෙස මෙම මුදල ලබා දෙන බවත්ය.
මෙම දීමනා ලබාදීම සම්බන්ධව අභියෝග රැසකට මුහුණ දුන් බවත්, විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු නිර්ණායකවලට අනුව මෙම තිළිණය ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා වෘත්තීමයභාවය ඇති කිරීම සඳහා වූ ක්‍රමවේදයන් සකස් කිරීම ආරම්භ කර ඇති බවත්, මෙවැනි දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඒ අනුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමෙන් පසු තිළිණ ප්‍රදානයන් කරනවා සේම, ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවත් , මෙම ප්‍රදානයන් ලබාදීම 2026 වසරේ දී මීට වඩා වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“Mission Olympic 2028” වැඩසටහන එම ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් වෘත්තීමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩසටහනක් බවත්, එම වැඩසටහනට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී තිළිණ ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Back To Top