තියුණු තරගයකින් පසු මහනුවර කඩුල්ලකින් කොළඹ උතුර පරදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (23දා) පැවැති තරගයකදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 1ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි.

කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලකුණු 161ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර පිල ඕවර්  47.1කදී කඩුලු 9කට ලකුණු 162ක් ලබා ගැනීමට සමත් විය.

මහනුවර පිලේ පළමු කඩුලු දෙක ලකුණු 4කට දැවීගොස් තිබියදී මන්දිල් ගුණවර්ධන හා සනිරු අනුහස් තෙවැනි කඩුල්ලට පන්දු 48කදී ලකුණු 35ක් ලබා ඉනිම සවිමත් කිරීමට වෙහෙසුණ අතර, සිව්වැනි කඩුල්ලට සනිරු අනුහස් හා ඉමන්ජිත් දිසානයක එත්ව පන්දු 43කදී ලකුණු 34ක් එක් කළහ.

සනිරු අනුහස් ලකුණු 27ක්, මන්දිල් ගුණවර්ධන ලකුණු 16ක් හා ඉමන්ජිත් දිසානයක ලකුණු 39ක් මහනුවර ඉනිමට එක් කළහ. පන්දු 78කදී සෙමින් ඉලක්කය වෙත හඹාගිය ලකිඳු මෙවුල් නොදැවී ලකුණු 28ක් ලබා සිටියේය. මහනුවර ඉනිමට අතිරේක ලකුණු 37ක් එක්ව තිබීම ද අමතර වාසියක් විය. පන්දු යැවීමේදී කොළඹ උතුර පිලේ දෙසඳු දින්සර, සදීෂ කාවින්ද හා මිෂික අබේවර්ධන කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.

මුලින් පන්දුවට පහරදුන් කොළඹ උතුර පිලේ මුල් කඩුලු 4 ලකුණු 59කට දවා ගැනීමට මහනුවර පන්දු යවන්නෝ සමත්වූ අතර, ඉනිමේ හොඳම සබඳතාව ලෙස චනුත් හර්දස හා ෂෙනුක් නිලේෂ් එක්ව 8 වැනි කඩුල්ලට පන්දු 71කදී ලකුණු 51ක් එක් කළහ. චනුත් හර්දස ලකුණු 44ක් හා තිසංග හා ෂෙනුක් නිලේෂ් ලකුණු 25ක් ඉනිමට එක් කළහ. තරුෂ නිමන්ත  හා සාසිත් බණ්ඩාර කඩුලු දෙක බැගින් පබිදහෙලීමට සමත් වූහ.

කොළඹ උතුර පිල ඕවර් 46.1කදී සියලු දෙනා දැවී ලකුණු 161

ජනදීප ඔකාෂ් 11, මිෂික අබේවර්ධන 6,  චේතින කාවින්ද16, හෆීස් ජුන්කීර් 19, චනුත් හර්දස 44, තිසංග ‍පෙරේරා 6, ෂෙනුක් නිලේෂ් 25, අබ්දුල් රහුමාන් නොදැවී 5, දෙසඳු දින්සර 5, අතිරේක 21 (තිනුල්ක රාජපක්ෂ 21/1, ඔකින්දු එදිරිසිංහ 44/1, තරුෂ නිමන්ත 27/2, ලකිඳු මෙවුල් 18/1, සාසිත් බණ්ඩාර 30/2)

මහනුවර පිල ඕවර්  47.1කදී කඩුලු 9කට ලකුණු 162

සනිරු අනුහස් 27, මන්දිල් ගුණවර්ධන 16, ඉමන්ජිත් දිසානයක 39, ඔකිඳු එදිරිසිංහ 6, ලකිඳු මෙවුල් නොදැවී 28, අතිරේක  37 (දෙසඳු දින්සර 24/2, තිසංග පෙරේරා 40/1, සදීෂ කාවින්ද 31/2, මිෂික අබේවර්ධන  16/2)

Back To Top